පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (09) පෙරවරුවේ කුලියාපිටිය පොලිස් ස්ථානය වෙත පැමිණියා.

ඒ, මුදල් අමාත්‍යාංශයේ හිටපු සහකාර අධ්‍යක්‍ෂ රංග නිශාන්ත රාජපක්ෂගේ මරණය සම්බන්ධයෙන් පදනම් විරහිත අසත්‍ය ප්‍රචාර සමාජගත කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවීමත් සමගයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ.වුට්ලර් පසුගිය 5 වැනිදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ, හිටපු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් සටහන් කරගෙන කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර සාක්ෂි මෙහෙයවීම සිදුකරන බවයි.

පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල ප්‍රකාශ කර තිබුණේ, රංග නිශාන්තගේ මරණය සැකසහිත බවට ඔහුගේ බිරිඳ විසින් කුලියාපිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බවයි.

මියගිය නිලධාරියාගේ බිරිඳ එවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, පසුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළා.

Share.
Leave A Reply

Exit mobile version