භික්‍ෂූන් වහන්සේ ඉදිරියේ දී විදේශගත වනවා නම්, උන් වහන්සේගේ ගුරු හාමුදුරුවෝ, ප්‍රදේශීය නායක හාමුදුරුවෝ සහ එම නිකායේ මහනායක හාමුදුරුවන්ගේ නිර්දේශය ලබාගැනීම මින් ඉදිරියට අනිවාර්ය කර තිබේ.

මෙම නීතිය මීට පෙර පනවා තිබුණත්, පසුගිය කාලයේ එය ක්‍රියාත්මක නොවූ බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසීය.

ඒ අනුව ජනාධිපතිවරයා සමග ලේඛකාධිකාරී හිමිවරු පැවැත්වූ සාකච්ඡාවකින් පසු මින් ඉදිරියට එය අත්‍යවශ්‍ය කාරණයක් බවත්, ඒ පිළිබඳ මහානායක හිමිවරුන්ද දැනුම්වත් කළ බවත් හෙතෙම පැවසීය.

මත්ද්‍රව්‍ය රැගෙන ආ චීවරධාරීන් 22 සම්බන්ධයෙන් රජයේ මතය ප්‍රකාශයට පත්කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.

මේ අතර ලේඛකාධිකාරී හිමිවරු, නීතිපතිවරයා සහ බුද්ධ ශාසන අමාත්‍යාංශ නිලධාරීන් ඊයේ (29) පුළුල් සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එහිදී විහාර දේවාලගම් ආඥාපනත කඩිනමින් සංශෝධනය කිරීම සඳහා අවදානය යොමුවූ බවද ඔහු පැවසීය.

ඒ අනුව එම පනතේ 41, 42 වගන්තිය ප්‍රකාරව මෙවැනි අවස්ථාවන්හි කටයුතු කිරීමේ බලය, මහානායක හිමිවරු ප්‍රමුඛ කරගත් මණ්ඩලයකට ලබාදීම සඳහා වැඩිදුරටත් සාකච්ඡා කළ බවද සඳහන් කළේය.

Share.
Leave A Reply

Exit mobile version