මහ භාණ්ඩාගාරයේ සිදුවූ බව කියන ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාව පිළිබදව රජයේ මුදල් කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙන පරිදි එය ‘තාක්ෂණික දෝෂයක්’ ලෙස හඳුන්වමින් වසා ගැනීමට දරන උත්සාහය තරයේ හෙළා දකින බව දිනන දකුණ සාමූහිකය සඳහන් කරනවා.

එසේම වහාම රටට යථාර්ථවාදී හා සත්‍යවාදී කමිටු වාර්තාවක් නිකුත් කරන ලෙස රජයේ මුදල් කාරක සභාවට බලකර සිටින බවයි ඔවුන් පවසන්නේ.

ඊයේ (08) සභාගත කරන ලද මෙම වාර්තාව පිළිබඳව සිය දැඩි කණස්සල්ල පළ කරමින් එම සාමූහිකය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, මෙම වාර්තාව මගින් උත්සාහ කර ඇත්තේ සිදු වූ දැවැන්ත වංචාව සහ කළමනාකරණ අසාර්ථකත්වය “ආයතනික සංක්‍රාන්ති සමයක් ” යන ලේබලය යටතේ යටපත් කිරීමට බවයි.

එසේම එවැනි ගර්හිත වාර්තාවක් විපක්ෂයේ ප්‍රධාන මන්ත්‍රීවරයකු හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලැස්වීම ශ්‍රී ලාංකික පුරවැසියන්ට අත්විඳින්නට සිදු වූ දෛවෝපගත සරදමක් ලෙසයි ඔවුන් හඳුන්වන්නේ.

කමිටු වාර්තාව හා එහි නිර්දේශයන් අභියෝගයට ලක් කරන දිනන දකුණ සාමූහිකය කියා සිටින්නේ, මෙය ව්‍යුහාත්මක වශයෙන් සැලසුම් කළ වංචාවක් බවයි.

එසේම එය හිතාමතාම මඟහැර ඇති අනතුරු ඇඟවීම් නොතකා ක්‍රියාත්මක කල සැලසුම් සහගත වංචාවක් බවත්, වාර්තාවේ කරුණු දැක්වීම් වලට අනුවම එය නීතිමය උල්ලංඝනයන් සඳහන් තාක්ෂණය උපයෝගී කරගත් වංචාවක් වන බවත්.

මුදල් පිළිබඳ කාරක සභා වාර්තාව මගින් හෙළි වන්නේ, ශ්‍රී ලංකාවේ විදේශ ණය කළමනාකරණ පද්ධතිය තුළ පවතින අතිශය කනගාටුදායක තත්වයක් බවයි එම සාමූහිකය පවසන්නේ.

ආයතනික සංක්‍රාන්ති සමයක් යැයි පවසමින්, භාණ්ඩාගාරයේ නිලධාරීන් කිහිප දෙනෙකුට අසීමිත බලතල පවරා, කිසිදු අධීක්ෂණයකින් තොරව රටේ මුදල් වංචා කිරීමට ඉඩ සලසා දී ඇති බව වාර්තාව මගින්ම සනාථ වන බව ද ඔවුන් සඳහන් කරනවා.

තවද, මහ බැංකුව විසින් සැකකටයුතු ගනුදෙනු පිළිබඳව රතු නිවේදන නිකුත් කර තිබියදීත්, භාණ්ඩාගාරයේ ඇතැම් බලධාරීන් එම අනතුරු ඇඟවීම් හිතාමතාම නොසලකා හරින ලද බව වාර්තාවම තහවුරු කරන බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙය සරල ‘සයිබර් ප්‍රහාරයක්’ නොව, අභ්‍යන්තරයේ සිට මෙහෙය වූ සැලසුම් සහගත මංකොල්ලයක් බව පෙනී යන බවයි.

එවැනි වාර්තාවක් තුළින් රටේ පුරවැසියන් වෙනුවෙන් ප්‍රශ්නාවලියක් ද එම සාමූහිකය රජයේ මුදල් කාරක සභාවේ සභාපතිවරයාට වෙත යොමු කර තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version