පොලිස් බියගැන්වීම් සහ නීති විරෝධී ක්‍රියාමාර්ග හරහා ශ්‍රී ලංකා රජය විසින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එරෙහිවීමටත්, මාධ්‍ය නිදහසට බාධා කිරීමටත් උත්සාහ දැරීම දැඩි ලෙස හෙළාදකින බව SAARC ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ සභාපති රාජු ලාමා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ගංජා පැල වැටලීමක් සම්බන්ධයෙන් හිරු මාධ්‍ය ජාලය විසින් පසුගියදා පළකරන ලද පුවතකට අදාළව පොලීසිය කළ ඉල්ලීම නිදහස් ජනමාධ්‍යවේදයට ඍජු ප්‍රහාරයක් එල්ල කිරීමක් බවයි.

SAARC ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ (SJF) මධ්‍යම කාරක සභාව විසින් අද( 26) දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කරනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වාදෙන්නේ පසුගිය මාස 15 ක කාලය තුළ ජාතික ජනබලවේග ආණ්ඩුව මාධ්‍ය මර්දනයේ කැළඹිලි සහගත රටාවක් පෙන්නුම් කරන බවයි.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ආරක්ෂා කරන බවට පොරොන්දු වුවද, දැන් ඔවුන් ‘ඒකාධිපති නැඹුරුවක්’ පෙන්වන බව ද එම නිවේදනයෙන් අවධාරණය කෙරෙනවා.

SAARC ජනමාධ්‍යවේදීන්ගේ සංසදය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ, විවේචකයන් නිහඬ කිරීම සඳහා පොලිස්-රාජ්‍ය උපක්‍රම භාවිතා කිරීම වහාම නතර කරන ලෙසත්, මාධ්‍යවේදීන්ගේ ව්‍යවස්ථාමය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ කතුවැකි ස්වාධීනත්වය තහවුරු කරන ලෙසත්, මාධ්‍ය නිදහස සහ මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගරු කරන ලෙසයි.

එමෙන්ම මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට රාජ්‍ය මැදිහත්වීම්වලට එරෙහිව සහයෝගයෙන් පෙනී සිටින ලෙස සියලු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ නිදහස් භාෂණය වෙනුවෙන් පෙනී සිටින්නන්ගෙන් SAARC ජනමාධ්‍යවේදීන්ගේ සංසදය අදාල නිවේදනය ඔස්සේ ඉල්ලා සිටිනවා.

Share.
Leave A Reply

Exit mobile version