වත්මන් රජය මැතිවරණ සමයේදී ලබාදුන් පොරොන්දු ඉටු නොකර, මුළු රටම බොරුවෙන් සහ ප්‍රෝඩාවෙන් රවටා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා

විපක්ෂ නායකවරයා මේ පිළිබඳව පවසා සිටියේ අද (20) පාර්ලිමේන්තුවේදී පැවැති ආර්ථිකය සම්බන්ධ විවාදයට එක් වෙමින්.

රටේ ආර්ථිකය ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා වන මේ අවස්ථාවේ රජයේ පාර්ශ්වය ඉදිරිපත් කරන කරුණු ගැන පුදුම වන බවත් රු. 9000 විදුලි බිල රු. 6000 දක්වාත් රු 3000 විදුලි බිල රු. 2000 දක්වා 33%කින් විදුලි බිල අඩු කරන බව පවසා ලක්ෂ 75ක් වූ විදුලි පාරිභෝගිකයන් අනාථ කිරීමට වත්මන් රජය කටයුතු කර ඇති බවයි විපක්ෂනායකවරයා පවසා සිටියේ.

ගොවි ජනතාවට අද පොහොර නොමැති බවත්, ඊට අමතරව ලැබෙන පොහොර ගුණාත්මකභාවයෙන් අඩු බාල බවත් පවතින පොහොර පවා කලුකඩ වෙළෙදාමෙන් ගොවියාට ලැබෙන බවත් පසුගිය මැතිවරණ සමයේ ගොයම් කකා වී කිලෝවට රු. 150ක් දෙනවා කිව්වත් අද පොහොර ගැටලුවට අලි මිනිස් ගැටුමට විසදුම් නොමැතිව ගොවියා අනාථ කර ඇති සේම ධීවරයා ද අනාථ කර ඇති බවයි විපක්ෂ නායකවරයා පවසා සිටියේ.

ඊට අමතරව ජීවන වියදම වැඩි වී ජීවන බර වැඩි වී විශ්‍රාමිකයන්ට වැඩිහිටි ප්‍රජාවගේ ඉතිරිකිරීම්වලට ඇති 15% පොළි ආදායම පවා අහිමි කර ඇති බවත් ඇගලුම් කම්හල් 200 වැඩසටහන යටතේ ආරම්භ වූ මාස් ලංකා, බ්‍රැන්ඩෙක්ස් හා හයිඩ්‍රාමනී වැනි කර්මාන්තශාලා වැසෙමින් යන බවත් අද මේ කර්මාන්තශාලා වැසී ඉන්දියාවේ බංග්ලාදේශයේ එම කර්මාන්තශාලා ආරම්භ කර ඇති බවයි විපක්ෂ නායකවරයා පවසා සිටියේ.

රටේ දුප්පත්කම 30%ත් 40%ත් ප්‍රමාණයට වර්ධනය වී ඇති මොහොතක දුප්පත්කම පෙනි පෙනි රජය දුප්පත් ජනතාව නොසලකා හැර ඇති බවත් දුප්පත්කම තුරන් කිරීමට රජයට කිසිදු පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවත් ආහාර අනාරක්ෂිතභාවය ඖෂධ හිඟය මෙන්ම රෝහල්වල උපකරණ හිඟය නිසා ශල්‍යකර්ම කරන්න පෝළිම්වල සිටීමට ජනතාවට සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පවසා සිටියා.

ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කියු ඇමතිවරයෙක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විපක්ෂය විරුද්ධ වූ බවට චෝදනා කළත් විපක්ෂය විරුද්ධ වූයේ අධ්‍යාපනය අසභ්‍යකරණයට ලක් කිරීමට බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා යැයි බලයට පැමිණි මේ රජයට පාසල්වලට අවශ්‍ය ස්මාර්ට් පන්ති කාමර උපකරණ මෙන්ම ඒ සදහා අවශ්‍ය පුහුණුව පවා ලබා දීමට නොහැකි වී ඇති බවයි විපක්ෂ නායකවරයා පවසා සිටියේ.

ලක්ෂ 12ක විට්ස් කාර් එක පොරොන්දු වූ මේ රජය බොරුකාර වංචාකාර ජනතාව අන්දවන ජනතාව රවට්ටන රජයක් බවට ජනතාව පිළිගෙන ඇති බවත් අද වාහනවලට 50%ක බද්දක් පනවන විට 16 වැනිදා සිට මේ බද්ද බලපවත්වා ඇති මුත් ඊට පෙර මේ තොරතුර රජයේ හිතවත් ගජමිතුරන් කිහිප දෙනකුට යවා වාහන 4000කට ආසන්න ප්‍රමාණයක් සඳහා ඇනවුම් කිරීමට ණයවර ලිපි නිකුත් කිරීම නිසා බිලියන ගණනාවක් රටට අලාභ සිදු කර ඇති බවත් මෙවැනි බාල වැඩ සිදු කර ස්වකීය පෝෂණය උදෙසා රටේ ලක්ෂ 220ක් ජනතාව බිල්ලට දි ඇති බවයි මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පවසා සිටියේ.

මහබැංකු අධිපතිවරයා විසින් විශේෂ පනතක් නිසා ස්වාධීන බැවින් ඇ. ඩොලර් ලක්ෂ 25 සම්බන්ධයෙන් මහබැංකුව වගකියන්නේ නැති බවට ප්‍රකාශයක් සිදු කරන බවත් මහබැංකු අධිපතිවරයා විසින් මෙහි වගකීම මුදල් අමාත්‍යාංශයට බැරකර ඇති බවත් මේ ප්‍රකාශය සමඟ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය එකඟද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මහබැංකුවට වගකීමක් නැද්ද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියා.

මහබැංකුව ස්වාධීන කිරීමේ පනත ගෙන එන විට වත්මන් ජනාධිපතිවරයා එයට විරුද්ධව ඡන්දය දුන් බවත් අද රජයේ පාලන තන්ත්‍රය යටතේ සිටින මහබැංකු අධිපතිවරයා මෙවැනි ප්‍රකාශ සිදු කරන බවත් ඊට අමතරව මූල්‍ය හා ආර්ථික වශයෙන් රට අමාරු වී ඇති බවට මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන නිසා මේ ගැන පැහැදිලි කළ යුතු බවත් රජය සුන්දර සුරංගනා ලෝකයක් නිර්මාණය කළත් එහි යථාර්ථය වෙනස් බවයි විපක්ෂ නායවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Share.
Leave A Reply

Exit mobile version