මියගිය මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂක රංග නිශාන්තගේ අවසන් කටයුතු අද (02) පස්වරුවේ කුලියාපිටිය – පහළ වීරඹුව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

ඔහුගේ දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතුවලින් අනතුරුව අද උදෑසන එම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා.

මෙම මරණය බහු කැපුම් තුවාල නිසා ඇති වූ අධික රුධිර වහනයෙන් සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පත්කෙරුණු විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ඊයේ නිගමනය කරනු ලැබුවා.

එමෙන්ම, එම තුවාල ඔහු විසින්ම තියුණු ආයුධයක් භාවිත කර සිදුකරගත් බව හැඟී යන බව ද එම විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩල නිකුත් කළ වාර්තාවෙන් සඳහන්.

මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර් පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටියදී සැකකටයුතු ලෙස මියගිය මෙම නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් 04 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් ඊයේ පත්කරනු ලැබුවා.

ඒ අනුව මියගිය නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පස්වරුවේ කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී සිදු කරනු ලැබුවා.

එහිදී හෙළිවූයේ ඔහුගේ පාද දෙකේ සහ අතක කැපුම් තුවාල තුනක් දක්නට ඇති බවයි.

මේ අතර, දිනන දකුණ සාමූහිකයේ නායකත්ව මණ්ඩල සභික නීතිඥ ශිරාල් ලක්තිලක කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, මෙම මරණය සම්බන්ධයෙන් මනෝ විද්‍යාත්මක මරණ පරීක්‍ෂණයක් සිදුකරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

Share.
Leave A Reply

Exit mobile version