ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ගෝලීය සෞඛ්‍ය සංවිධාන එක්ව “ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීම වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග” පිළිබඳ පවත්වන ලද සාකච්ඡාවක් සහ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පැවැත්විණි.

ආසියානු ජනගහනයේ අවදානම් සහිත කොට්ඨාශයන්හි ශ්වසන රෝග ඇති විමේ ප්‍රවණතාව අඩු කිරීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය මට්ටම වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් ඒ සදහා ජාත්‍යන්තර මැදිහත්වීමක් ලෙස ගෝලීය සෞඛ්‍ය පිළිබද Respire ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතන වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, රජරට විශ්ව විද්‍යාලය, වයඹ විශ්ව විද්‍යාලය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

මෙමගින් ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීමේ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ඇති අතර ඒ සදහා අවශ්‍ය උපාය මාර්ග සහ සහයෝගී ප්‍රවේශයන් ද මෙහිදී ඉස්මතු කෙරිණි.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රසන්න හේරත් මහතා විසින් මෙම වැඩසටහනේ පරීක්ෂණාත්මක සහ තහවුරු කරන ලද ඒක පුද්ගල දුම් පානය නිවාරණය සම්බන්ධ විද්‍යාත්මක ක්‍රමවේදය හඳුන්වා දීම ද සිදු කරන ලදි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සම්පන්න, දුම්පානයෙන් තොර අනාගතයක් ගොඩනැගීම සඳහා සහයෝගී ක්‍රියාමාර්ග දිරිමත් කිරීම, මෙන්ම ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්, සෞඛ්‍ය සේවා වෘත්තිකයින්, පර්යේෂකයින් සහ සිවිල් සමාජ සංවිධාන අතර සංවාදය ශක්තිමත් කිරීම ද අරමුණු කරගෙන තිබුණි.

ශ්‍රී ලංකාවේ දුම්කොළ සහ දුම්පානය, නැවැත්වීමේ ජාතික වැඩසටහනක අවශ්‍යතාව පිළිබඳව නවසීලන්ත ඔික්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ ජනගහන සෞඛ්‍ය පාසලේ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය ක්‍රිස් බුලන් (Prof.chris Bullen) මහතා විසින් සූම් තාක්ෂණය ඔස්සේ ප්‍රධාන දේශනය සිදු කරන ලද අතර, දුම්පානය නැවැත්වීමේ උපායමාර්ග, දුම්පානය සහ ශ්වසන රෝග, දුම්පානය නැවැත්වීමේ මුලපිරීම් සහ ක්‍රියාකාරී සැලසුම්, දුම්පානය නැවැත්වීම සඳහා සාක්ෂි මත පදනම් වූ විද්‍යාත්මක ප්‍රවේශයන් පිළිබඳව ද මෙහිදි දේශණ පවත්වන ලදි.

දුම්කොළ පරිභෝජනය අඩු කිරීමේ දී රජයේ කාර්යභාරය පිළිබඳ මෙහිදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා දීර්ඝ ලෙස අදහස් දක්වන ලදී. එහි දී ලෝකයේ වළක්වා ගත හැකි මරණවලට ප්‍රධානතම හේතුවක් ලෙස දුම්කොළ භාවිතය බව පෙන්වා දුන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා දුම්කොළ ආශ්‍රිත රෝගී තත්ත්වයන් මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියට, ආර්ථිකයට සහ පවුල්වලට විශාල බරක් පටවමින් පවතින බව ද පැවැසීය. රජයේ ප්‍රධාන අරමුණ රටේ ජනතාව රෝග වලින් තොරව සතුටින් තැබීම බවත්, රෝගවලට ලක්වීමට ඉඩහැර ප්‍රතිකාර කිරිම සෞඛ්‍ය අංශයේ අරමුණ නොවන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.

ශ්‍රී ලංකා රජය දුම්කොළ පාලනය මහජන සෞඛ්‍ය ජාතික ප්‍රමුඛතාවයක් ලෙස පිළිගෙන ඇති බවත්, අපගේ වගකීම වන්නේ දුම්කොළ නිසා ඇති වන රෝගවලට ප්‍රතිකාර කිරීම පමණක් නොව රෝග ඇතිවීමට පෙර ඒවා වැළැක්වීම බවද අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.

දුම්පානය සියයට සියයක්ම වළක්වා ගත හැකි දෙයක් බවත්, ජනතාව ඉබේ හසුවන උගුලක් මෙහි වන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා දුම්පානය මෙරටින් තුරන් කිරීම රජයේ උත්සාහය බව ද පැවැසිය. දුම්කොළ පරිභෝජනය අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාව වසර ගණනාවක් පුරා වැදගත් පියවර රැසක් ගෙන ඇති බවත්, මෙම පියවර ක්‍රියාත්මක කරන ලද්දේ හුදෙක් රෙගුලාසි ලෙස නොව, ජීවිතාරක්ෂක මැදිහත්වීම් ලෙස බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවැසීය.

තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා රජය දුම්කොළ නිෂ්පාදන සඳහා බදු අඛණ්ඩව වැඩි කර ඇති බවත් දුම්කොළ කර්මාන්තය බොහෝ විට තරුණයින් ඉලක්ක කරන්නේ වක්‍ර අලෙවිකරණය සහ ආකර්ශනීය නිෂ්පාදන සැලසුම් හරහා බවත් රජයක් ලෙස, නව ආකාරයේ සියලු නිකොටින් ඇබ්බැහිවීම් වලට එරෙහිව සුපරීක්ෂාකාරීව සිටිය යුතු බවත්, වෙනස්වන අභියෝග සමඟ අපගේ ප්‍රතිපත්ති පරිණාමය විය යුතු බව ද අවධාරණය කරන ලදි.

දුම්කොළ පාලන ප්‍රතිපත්ති තවදුරටත් ශක්තිමත් කිරීම, තරුණයින් ඇතුළු අනාගත පරම්පරාවන් ආරක්ෂා කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා රජයේ කැපවීම තහවුරු කරන බවත්, සෞඛ්‍ය සම්පන්න ජාතියක් යනු ශක්තිමත් ආර්ථිකයක, ඵලදායී සමාජයක සහ සමෘද්ධිමත් අනාගතයක පදනම වන බැවින් දුම්කොළ පරිභෝජනය අඩු කිරීම සෞඛ්‍ය අරමුණක් පමණක් නොව එය ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක් බව ද මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

Share.
Leave A Reply

Exit mobile version