අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සැකකරුවෙක් අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා ලක්ෂ දෙකක අල්ලසක් ලබාගත් බව කියන පෑලියගොඩ පොලිසියේ දුෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරියෙකු ලබන 12 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(30) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස නියෝග කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාලව සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි සිටි තවත් පොලිස් නිලධාරියෙක් පලා ගොස් ඇති බවයි.

ඔහු සොයා විමර්ශන කටයුතු සිදුකර තිබේද යන්න සහ පොලිස් දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබේද යන්න මහේස්ත්‍රාත්වරයා එහිදී විමසා සිටියා.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි විමර්ශන නිලධාරියා සඳහන් කර සිටියේ එම පොලිස් නිලධාරියා සොයා විමර්ශනයක් පවත්වන බවයි.

තවද මෙම සිද්ධියට අදාලව එම පොලිසියේ උසස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට තිබෙන බවද අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුවා.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ අත්අඩංගුවට ගත් සැකකරුවෙක් අධිකරණයට ඉදිරිපත් නොකර සිටීමට කනිෂ්ඨ නිලධාරියෙකුට හැකියාවක් නොමැති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

Share.
Leave A Reply

Exit mobile version