මත්ද්‍රව්‍ය ව්‍යාපාරයෙන් උපයන ලද මුදල්වලින් මිලදී ගත් බවට අනාවරණය වූ අතුරුගිරිය, ශාන්තාලෝකගම, 8 වන පටුමගේ පිහිටි රුපියල් කෝටි 4 කට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී නිවසක් දින 07ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කර (තහනමට ලක් කර), එහි හිමිකරුවන් වන අඹුසැමි යුවළක් අද (20) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වරාසිංහ ආච්චිගේ ධනුෂ්ක පුෂ්පකුමාර හෙවත් “වනාතේ බොක්කා” නමැති අයකු සහ “මැදවච්චියේ අක්කා” නොහොත් මොහොමඩ් සුෆාර් ෆාතිමා රෙජිනා නමැති ඔහුගේ බිරිඳයි.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ දීර්ඝ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකාර අඹුසැමියන් දෙදෙනා ‘ඊසි කෑෂ්’ (Easy Cash) ක්‍රමය මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කර ඇති බවයි.
එසේ ලබාගන්නා මත්ද්‍රව්‍ය ආදායම ඔවුන්ගේ හිතවතුන්ගේ බැංකු ගිණුම්වලට බැර වීමට සලස්වා, පසුව තැන්පතු කාඩ්පත් (ATM Cards) මාර්ගයෙන් එම මුදල් ලබාගෙන මෙම නිවස මිලදී ගැනීමට කටයුතු කර ඇති බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවළ හෙට (21) දින මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

