වැලිකන්ද දුම්රිය පොළ අසල ප්‍රයෝජනයට ගතහැකි ඉන්ධන ටැංකි පහක් වගකිව යුතු කිසිම ආයතනයක අවධානයට යොමු නොවී ජරාවාස වෙමින් දිරාපත් වෙමින් පවතී.
වැලිකන්ද නාගස්තැන්න පදිංචි ගොවියෙකු වන චාමර ප්‍රදීප් සේනානායක මහතා පවසන්නේ,
“මහවැලි බී කලාපයේ ගොවීන් අලි කරදරවලට මුහුණ දෙමින් අස්වනු ගෙට ගන්න විශාල දුකක් විඳිනවා.
පසුගිය දිනවල ගොවිතැන් කරගැනීමට ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල ඉන්න සිදුවුණා.
වැලිකන්ද දුම්රිය පොළ ආසන්නයේ වසර 40කට ආසන්න කාලයක් ඉන්ධන ටැංකි පහක් දිරාපත්වීම ජාතික අපරාධයක්. කොටි ත්‍රස්තවාදී කලබල කාලයේ දුම්රිය මගින් ඉන්ධන ගෙනැවිත් ආරක්ෂාකාරී ලෙස ඉන්ධන ලබාදීමට කටයුතු කළත්, ඉන්පසු කිසිම ප්‍රයෝජනයට ගන්නේ නැතිව මෙම ඉන්ධන ටැංකි පහ දිරාපත් වෙමින් තිබෙනවා. මේවා කාට අයිතිද කියන්න දන්නේ නැහැ. ඉන්ධන නැතිව ගොවිතැන් කිරීමට යනවිට ගොවීන්ට විශාල දුක් කන්දරාවකට මුහුණ දීමට සිදු වෙනවා.
වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් ඉල්ෆාන් මහතාගෙන් විමසීමේදී මෙම ඉන්ධන ටැංකි ප්‍රයෝජනයට ගත නොහැකි ලෙස දිරාපත්වී ඇති බව පැවසීය.
වැලිකන්ද සමුපකාර ඉන්ධන හලේ කළමනාකරු උපුල් ඇටම්පාවල මහතා මෙලෙස අදහස් දැක්වීය.
“මාදුරුඔය හදන කාලේ මෙම ඉන්ධන ටැංකි මගින් ප්‍රයෝජනයට ගත්තා. කොටි ත්‍රස්තවාදී කලබල කාලයේ යම් තරමක් ප්‍රයෝජනයට ගත්තා. ඉන්ධන ටැංකි 2ක් හිල්වී ඇති නිසා ප්‍රයෝජනයට ගත නොහැකියි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයිති මෙම ටැංකි සමුපකාරය භාරයේ ඇති බවද පැවසීය.

