“මම සුපුරුදු පරිදි එදා උදේ දුවටත් නිවසේ සිටින මහත්තයටත් උදේට කන්න කෑම හදලා පාසල් යන්න පිටත් උනා. අපි නුවර දළදා මාලිගාවට යන්නත් එක්ක සූදානමින් සිටියා. ඒනිසා පෙරවරු දහයට පමණ මම ආපහු නිවෙසට ආවා. ඒ එද්දි මහත්තයා පේන්න හිටියේ නෑ. මම මහත්තයා වැඩ කරන කුඹුර දිහාවට ගියත් මහත්තයා එතනත් හිටියේ නෑ. ඊට පස්සේ බුලත් කොටුවේම වැඩ කරමින් හිටපු කරුණා අක්කා ‘මහත්තයා වත්ත මැද වැටිලා ඉන්නවා කියලා’ අපිට පණිවිඩයේ දුන්නා. අපි ඉක්මනට එතෙන්ට ගියා යනකොට වත්ත මැදින් මහත්තයා උඩ බැලි අතට වැටිලා ඉන්නවා දැක්කා.” යැයි මුදල් අමාත්‍යංශයේ විදෙස් සම්පත් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකුව සිට වැඩතහනමට ලක්ව සිටියදී අභිරහස් ලෙස මියගොස් සිටි රංග නිෂාන්‍ත රාජපක්ෂගේ බිරිඳ අද (20) මරණ පරීක්ෂණ සාක්ෂියේදී සාක්ෂි ලබා දෙමින් පැවසුවා.

ඒ, එම මරණයට අදාළ මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය අද (20) කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථවේදීයි.

එහිදී මරණකරුගේ බිරිඳ වූ නිශ්ශංක ආරච්චිගේ සීලවතී, දියණිය අබේසිංහ මුදියන්සේලාගේ සුනෙත්මි ඉමාෂා, රාජපක්ෂගේ කරුණාවතී, පතිරාජ මුදියන්සේලාගේ මධුෂානි සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල යන අය සාක්ෂි ලබාදුන්නා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයේ පැමිණිල්ල මෙහෙයවූයේ වයඹ පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණයි.

මරණකරු රංග නිශාන්ත රාජපක්ෂගේ බිරිඳ වන නිශ්ශංක ආරච්චිලාගේ සීලවතී මරණ පරීක්ෂණ සාක්ෂි ලබා දෙමින් වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළා.

සාක්ෂිකාරිය – “ස්වාමිනී, මේ සිද්ධිය වෙන්නේ අප්‍රේල් 30 දා. මම සුපුරුදු පරිදි එදා උදේ දුවටත් නිවසේ සිටින මහත්තයටත් උදේට කන්න කෑම හදලා පාසල් යන්න පිටත් උනා. මම වෙනදා වගේම පාසලේ ඉගැන්වීම් කටයුතුවලට ගියේ. අපි නුවර දළදා මාලිගාවට යන්නත් එක්ක සූදානමින් සිටියා. ඒනිසා පෙරවරු දහයට පමණ මම නිවෙසට ආවා. මම එද්දි දහයයි පනහ වගේ වෙලා තිබුණා. මම දුවගෙන් ඇහුවා කෑවද කියලා. දුව කිව්වා මම කෑවා ඒත් තාත්තා නම් කෑවෙ නෑ කියලා දුව කිව්වා. මහත්තයා පේන්න සිටියේ නැති නිසා මම දුවගෙන් ඇහුවා තාත්තා කෝ කියලා. අම්මේ තාත්තා කජු ඇහිදින්න යනවා කියලා පහළට ගියා කියලා දුව කිව්වා.

මම පහළට ගියා මහත්තයා හොයන්න. පිටි පස්සට ගියා ඒත් මහත්තයා හිටියේ නෑ. ඊට පස්සේ මහත්තයාගෙත් මගෙත් පවුලේ හිතවතෙක් වුණ උදය අයියට කෝල් එකක් ගත්තා. උදය අයියා ටිකකින් ආවා. අපි දෙදෙනාම මහත්තයව හොයන්න ගියා. ඊට පස්සේ බුලත් කොටුවේ වැඩ කරමින් හිටපු රණවීර අයියත්. අපේ උදව්වට ආවා. අපි මහත්තයා වැඩ කරන කුඹුර දිහාවට ගියත් මහත්තයා එතනත් හිටියේ නෑ.

ඊට පස්සේ බුලත් කොටුවේම වැඩ කරමින් හිටපු කරුණා අක්කා ‘මහත්තයා වත්ත මැද වැටිලා ඉන්නවා කියලා’ අපිට පණිවිඩයේ දුන්නා. අපි ඉක්මනට එතෙන්ට ගියා යනකොට වත්ත මැදින් මහත්තයා උඩ බැලි අතට වැටිලා ඉන්නවා දැක්කා.

මට ගොඩක් බය හිතුණා. එතන හිටපු අයගේ උදව්වෙන් මම මහත්තයාව උස්සගෙන කුස්සිය පිටිපස්සේ මඩුවට ආවා. ඊට පස්සේ 1990 ගිලන් රථ සේවයට කතා කළා. ඒ අය තමයි පරීක්ෂාවෙන් පසුව මහත්තයා මිය ගිහින් තියෙනවා කියලා කිව්වේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ – සාක්ෂිකාරියගේ සැමියා එසේ වැටී සිටියේ මොන ඇඳුම් ඇදගෙනද?

සාක්ෂිකාරිය – තද පාට සරමක් සහ කහපාටට හුරු ටී ෂර්ට් එකක් තමයි මහත්තයා ඇදගෙන හිටියේ. බාටා වර්ගයේ පොල් ගස සලකුණ සහිත පාවහන් යුගලක් ද දාගෙන හිටියා.

පොලිසිය – (සාක්ෂිකාරියට නඩු භාණ්ඩ පෙන්වා දෙමින්) මේවා සාක්ෂිකාරියගේ ස්වාමිපුරුෂයාගේ ඇඳුම් පැළදුම් ද?

සාක්ෂිකාරිය – ඔව් ස්වාමිනී, මේවා මගේ මහත්තයාගේ ඇඳුම් සහ සෙරෙප්පු

පොලිසිය – (නඩු භාණ්ඩයක් වූ පිහියක් පෙන්වා සිටී) සාක්ෂිකාරිය මේ පිහිය අඳුනනවාද?

සාක්ෂිකාරිය – ඔව් ස්වාමිනී, මම විවාහ වෙලා මේ නිවෙසට පැමිණෙන විටත් නිවසේ එළවළු ආදිය කපා ගැනීමට භාවිතා කළේ මේ පිහිය.

පොලිසිය – ඔබ පොලිසියට මේ සිද්ධිය ගැන ප්‍රකාශ ලබා දුන්නාද?

සාක්ෂිකාරිය – ඔව් ස්වාමිනී, මම ප්‍රකාශ දෙකක් දුන්නා. ඊට පස්සේ ආයෙත් පොලිසියට ගිහින් තවත් ප්‍රකාශයක් දුන්නා. විවිධ මාධ්‍යවලින් මේ මරණය ගැන මගෙන් එක ‍එක දේවල් ඇහුවා. ඒකෙන් අපි සිත්තැවුලට පත්වුණා. මමත් මගේ පවුලේ හැමෝමත්. ඒ නිසා එය වළකා දෙන ලෙසට තමයි ‍තුන්වැනි සැරේට පොලිසියට ගිහින් ඉල්ලීමක් කළේ.

පොලිසිය – සාක්ෂිකාරිය පොලිසියට ලබාදුන් ප්‍රකාශ තුනේදීම කුමන අවස්ථාවකදී හෝ කිව්වාද ඔබට මේ මරණය පිළිබඳ සැකයක් තියෙනවා කියලා?

සාක්ෂිකාරිය – මම කිසිම අවස්ථාවක මගේ මහත්තයාගේ මරණය ගැන සැකයක් තියෙනවා කියලා කිසිම ස්ථානයක කිව්වේ නැහැ.

පොලිසිය – ඔබට මේ සම්බන්ධයෙන් යළිත් ප්‍රකාශයක් කළ හැකියි. ඒ සම්බන්ධයෙන් කුමක් හෝ දෙයක් අලුතින් කියන්න තියෙනවාද කියලා මේ ගරු අධිකරණයේදී කියන්න?

සාක්ෂිකාරිය – අපිට කිසිම සැකයක් නෑ. ඒ වගේම කීමටද කිසිවක් නෑ.

මෙහිදී සාක්ෂි දුන් මරණකරුගේ දියණිය මෙසේ ප්‍රකාශ කළා.

සාක්ෂිකාරිය – “ස්වාමිනී, මේ මියගොස් සිටින්නේ මගේ පියා. අපි එදා දළදා මාලිගාවට යන්නයි සූදානමින් සිටියේ. අම්මා ඉස්කෝලේට ගියා උදේ හතට විතර. අම්මා යන්න කළින් මට කතා කරලා කිව්වා තාත්තටත් දීලා කන්න කියලා. මම හත හමාරට විතර නැගිටලා ගිහිල්ලා තාත්තව බැලුවා තාත්තා හිටියේ නෑ. අම්මා දහයයි හතළිස්පහට විතර ගෙදර ආවා.

ඇවිත් අම්මා නාන්න ගියා ගියා. නාලා ඇවිල්ලා තාත්තා කෝ කියලා මගෙන් ඇහුවා. කජු කඩන්න වත්ත පහළට යන බව කියල තාත්තා ගියා කියලා මම අම්මට කිව්වා. අම්මා තාත්තව හොයන්න ගියා. පස්සේ උදය අන්කල් ගෙදර ආවා ආවා. උදය අන්කල් එක්ක අම්මා තාත්තව හොයන්න වෙල පැත්තට ගියා.

ඊට ටික වෙලාවකට පස්සේ හයියෙන් කෑගහන සද්දයක් ඇහුණා. මම පිටිපස්සෙන් එළියට ගිහිල්ලා බලනකොට අම්මල උදය අංකල්ලා කෑ ගහනවා ඇහුණා.

මම එතනට ගියාම දැක්කා තාත්තා වැටිලා ඉන්නවා. .අම්මා එතන හිටපු මාමලා නැන්දලා ඔක්කොම එක්ක තාත්තව උස්සගෙන ගෙදරට ආවා. ඊට පස්සේ ඇම්බියුලන්ස් එකට කතා කළා. එයාලා තමයි ඇවිල්ලා බලලා කිව්වේ තාත්තා නැති වෙලා කියලා.”

පොලිසිය – ඔබ නිවෙසේ තනිව සිටින වෙලාවේ මොකක් හරි ශබ්දයක් ඇහුණාද?

සාක්ෂිකාරිය – නෑ මට කිසිම ශබ්දයක් ඇහුණේ නැහැ. මම‍ මේ ගැන පොලිසියට ප්‍රකාශයක් ලබා දීලා අත්සන් කළා.

මරණකරු වැටී සිටින අයුරු මුලින්ම දුටු කරුණාවතී යන අය ඉන් අනතුරුව අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නා.

සාක්ෂිකාරිය – “ස්වාමිනී, මම රංග මල්ලි පදිංචි ස්ථානයේසිට කිලෝ මීටර් 15ක් පමණ දුරින් පදිංචි වෙලා ඉන්නේ. මමත් මහත්තයාත් මේ කොරටුවට නිතර බුලත් කඩන්න ආවේ නැති වුණත් පහුගිය වකවානුවේ දිනක් හැර දිනක් බලුත් කොටුවට ආවා. එදා රංග මල්ලිගේ නෝනා ඇවිල්ලා කිව්වා, මහත්තයා ගෙදර නැහැ කියලා. ඊට පස්සේ මගේ මහත්තයයි, ඒ නංගියි උදය මල්ලියි ගියා රංග මල්ලිව හොයන්න.

මම වැඩ කළේ මදුෂානි කියන මගේ ඥාති දුවත් එක්ක. ඊට පස්සේ එක දිගට වැඩ කළ නිසා තේ බොන්න ලෑස්ති වුණා. එතකොට නංගිගෙන් මම ඇහුවා මල්ලි හම්බ වුණාද කියලා. එතකොට නංගි කිව්වා තාම හම්බවුණේ නෑ අක්කේ කියලා. ඒ නිසාම මමත් මදුෂානිත් බුලත් කොටුවේ අනිත් පැත්තේ වත්තේ පිටුපස්සට ඇවිදගෙන ගියා. ඒ යද්දි අපි දැක්කා රංග මල්ලි වත්ත මැද්දේ වැටිලා ඉන්නවා. මම නංගිට කෑ ගහලා කිව්වා මෙන්න මල්ලි වැටිලා කියලා.

පොලිසිය – ඔබ උදෑසන සේවයට පැමිණි‍ අවස්ථාවේදී ඉඳලා ඒ වෙනතුරු කිසියම් සැකකට යුතු ශබ්දයක් ඇසුණාද?

සාක්ෂිකාරිය – “නෑ ස්වාමිනී, එසේ ශබ්දයක් තමන්ට ඇසුණේ නෑ. අපි වෙනදා බුලත් කඩන පැත්තේ බුලත් කැඩුවා නම් රංග මල්ලි එතනට යන හැටි අපි දකිනවා. එදා සිද්ධිය වූ දිනයේ බුලත් කඩමින් සිටියේ වත්තේ අනිත් පැත්තේ නිසා අපි කිසිවක් දැක්කේ නැහැ.”

අනතුරුව සාක්ෂි විමසීම සිදු කරනු ලැබුවේ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන අයගෙනුයි.

පොලිසිය – සාක්ෂිකරු, ඔබ මෙම සිද්ධියෙන් දින කිහිපයකට පසු එනම් හතරවැනිදා මාධ්‍ය හමුවක් පවත්වා මෙම මරණය සැක සහිත බවට කිව්වාද?

සාක්ෂිකරු – ‘ස්වාමිනී, මම කිසිදු විටක එවැනි ප්‍රකාශයක් ජන ගත කළේ නැහැ. මම කළේ රටේ ඉතාම වගකීමක් සහිත රාජ්‍ය නිලධාරියෙක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් සිව් දෙනකු පත් කිරීම වෙනුවෙන් නිකුත් කර තිබූ පත්කිරීමේ ලිපියක කොටසක් උපුටා දැන්වීම පමණයි.

පොලිසිය – පශ්චාත් මරණ පරීක්ෂණයක් යනු අධිකරණ ක්‍රියාවලියක් නොවෙයි. සාක්ෂිකරු ඔබ නීතිඥවරයකු ලෙසින් ඒ පිළිබඳව දන්නවාද?

සාක්ෂිකරු – මා අපරාධ අධිකරණයේ නොවෙයි සිවිල් අධිකරණයේ කටයුතු කරන්නේ.

මෙහිදී සාක්ෂිකාර උදය ගම්මන්පිල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා කරුණු දක්වමින් මෙසේ ප්‍රකාශ කළා.

නීතිඥවරයා – ස්වාමිනී, මෙම මරණය සම්බන්ධව සමාජ මාධ්‍යය ඇතුළු මාධ්‍ය ගණනාවක යම් යම් අදහස් පළ වී තිබූණා. තමන් සේවාදායකයා මෙම මරණ පරික්ෂණයේ සාක්ෂියක් සඳහා කැඳවීම පිළිබඳව අප නීතිඥ මඩුල්ලට ඇත්තේ පුදුමයක්.

පොලිසිය – මෙම සාක්ෂිකරු කැඳවු ප්‍රවෘත්ති සාකච්ඡාව ඉකුත් 04 වැනිදාත් ඊට පසුදිනත් රූපවාහිණී නාලිකා දෙකක ප්‍රවෘත්ති විකාශවල ප්‍රචාරය වුණා. එහිදී මරණකරු ගැන මතයක් ඉදිරිපත් කර තිබුණා. ඒ නිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370 වගන්තියට අනුව සාක්ෂියක් ලබාගැනීමට අධිකරණනයට කැ‍ඳවනු ලැබුවා. (මෙහිදී එම මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් වන කොටස් පැමිණිල්ලේ සාක්ෂි ලෙස නම් කළා)

පොලිසිය – මෙහි මරණකරු මහා භාණ්ඩාගාරයේ රුපියල් කෝටි අසූවක මුදලක් අස්ථානගතවීම සම්බන්ධව මුල් පැමිණිල්ල කළ අය බව කියන දේ නිවැරදිද?

සක්ෂිකරු – මුල් අවස්ථාවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැමිණි තොරතුරු අනුව මුල් පැමිණිල්ල සිදුකරන ලද්දේ මෙම මරණකරු විසින් බව මම දැනගත්තා. මුදල් නියෝජ්‍ය ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයේදී එය තහවුරු වුණා. ඒ නිසා මම ඒ ප්‍රකාශ කළා. පස්සේ මුල් පැමිණිල්ල කළේ මරණකරු නොවන බවට තහවුරු කර ගත්තාට පස්සේ ඒ පිළිබදවත් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා.

පොලිසිය – ලේ තැවරුණු පිහිය රජයේ රස පරීක්ෂකට යවා වාර්තාව ලබාගන්නටත් පෙර මෙය සිය දිවි හානි කර ගැනීමක් ලෙස හුවා දක්වමින් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීමට කටයුතු කිරීම පිළිබඳව ඒ කතාවේ පදනම කුමක්ද?

සාක්ෂිකරු – මේ සිද්ධියට පාදක වී ඇත්තේ රටේ දැවැන්ත පිළිබඳ කරුණක්. මා ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමෙන් අනතුරුවත් ඊට පෙරත් මෙම පුද්ගලයා මැරුවද මැරුණද යන්න ගැන සමාජයේ විවිධ කතා පැතිරුණා. පරීක්ෂණය අවසන් වුවාට පසු එය සියදිවි හානි කර ගැනීමක් කියලා ප්‍රකාශ කළා නම් ගැටලුවක් පැන නගින්නේ නැහැ. මම මරණ පරීක්ෂණය සම්බන්ධව කිසිවක් ප්‍රකාශ කළේ නෑ.

පොලිසිය – ඔබ පිහියේ ඇගිලි සලකුණු රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා නැති බවටත් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළාද?

සක්ෂිකරු – මා ප්‍රවෘත්ති සාකච්ඡාවේ එසේ පැවසූ බව පිළිගන්නවා.

පොලිසිය – දේහය කපා සිදු කරනු ලබන පශ්චාත් මරණ පරීක්ෂණයකදී ඇඟිලි සලකුණු වාර්තාවක් එතරම් වැදගත් නොවන බව වෛද්‍යවරුන් සඳහන් කරන බව ඔබ දන්නවාද?

සාක්ෂිකරු – මා පැවසූයේ මගේ මතයයි. නියෝජ්‍ය පොලිස්පතිතුමන් එම මතය පිළි නොගන්නේනම් ඊට මා ගරු කරනවා.

පොලිසිය – ඇඳුම්වල ඇති ලේ පැල්ලම් පිළිබඳව ඔබ ප්‍රවෘත්ති සාකච්ඡාවේ ප්‍රකාශයක් කළාද? ඔබ එම ලේ පැල්ලම් දුටුවාද?

සාක්ෂිකරු – මරණකරුගේ ඇඳුම් පැළඳුම්වල ලේ පැල්ලම් තිබුණා නම් එය පරීක්ෂා කළ යුතු බව පමණයි මා කිව්වේ. මා නීතිඥයෙක්. එමෙන්ම දේශපාලනඥයෙක්. පක්ෂ නායකයෙක්. මේ වනවිට විපක්ෂය නියෝජනය කරන අයෙක්. සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක්. රාජ්‍ය නිලධාරීන් සතු බොහෝ කාරණා ඔවුන්ට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ නොහැකියි. ඒ නිසා ඔවුන් ඉතා සංවේදී රහස්‍ය තොරතුරු විපක්ෂයේ දේශපාලනඥයින් ලවා ජනගත කරනවා. මා හටත් මේ සිදුවීම පිළිබදව විශ්වසනීය රාජ්‍ය නිලධාරීන් බොහෝ තොරතුරු පැවසුවා. එම තොරතුරු ද පාදක කරගනිමින් තමයි අදාල ප්‍රවෘත්ති සාකච්ඡාව තිබ්බේ.

පොලිසිය – මරණකරුගේ මරණය සැක සහිත බව බිරිද පැවසු බවට එම මාධ්‍ය හමුවේ කරුණු ඉදිරිපත් කළේ ඇයි?

සාක්ෂිකරු – මා කිසිසේත් එම මරණය සැක සහිත බව බිරිඳ පැවසූ බවට කිසිදු අවස්ථාවක කිව්වේ නෑ. එම මරණය පශ්චාත් මරණ පරීක්ෂාවට ලක් කිරීම සඳහා පත්කළ වෛද්‍ය මණ්ඩලය පත් කිරීමේ ලිපියේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් කර ඇත්තේ බිරිද එම මරණය පිළිබඳව සැක බවට පළ කරන නිසා මෙසේ පත් කිරීමක් සිදුකළ බවටයි. (සාක්ෂිකරු එම ලිපිය අධිකරණය අවධානයට යොමු කළා) ස්වාමිනී, පොලිසිය කළ යුතුව තිබුණේ මාව සාක්ෂියට කැඳවනවා වෙනුවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා එසේ පැවසූයේ ඇයිදැයි යන්න විමසා සිටීම නේද?

මෙම මරණ පරීක්ෂණයේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන ජුනි මස 6 දක්වා තැබූ අධිකරණය ඉදිනට සාක්ෂිකරුවන් ඉදිරිපත් කරන ලෙසට පොලිසිය නියෝග කළා

Share.
Leave A Reply

Exit mobile version