ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අවස්ථාවේදී මැතිවරණ කොමිසම විසින් පිළි නොගන්නා බවත් ඒ අනුව අක්‍රිය වී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බැංකු ගිණුම තාවකාලිකව අත්හිටුවීමට ක්‍රියාකරන ලෙසට මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කරනවා.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට නඩු කිහිපයකට මුහුණ දී සිටින බවයි.

එම නිසා වසර කිහිපයක් තිස්සේ මෙම පක්ෂයට කිසිදු මැතිවරණයකට තරඟ කිරීමට නොහැකි වී ඇති බවත් මේ ආකාරයට දිගින් දිගටම නඩු කටයුතු ක්‍රියාත්මක කළහොත් පක්ෂය ජනතාවගෙන් ඈත්වීමට ඉඩ තිබෙන බවත් ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින පිරිසක් පක්ෂයේ අරමුදල් අවභාවිතා කරන බවත් එය පක්ෂ සාමාජිකයින්ට කරන බරපතල හානියක් බවත් එම නිසා සියලුම පක්ෂ සාමාජිකයින් මේ ගැන විමසිලිමත්ව සිටින ලෙසට ඉල්ලා සිටින බවද දයාසිරි ජයසේකර සඳහන් කරනවා.

කිහිපදෙනෙකු විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුදල් නීති විරෝධී ආකාරයෙන් අවභාවිතා කරන අතර ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවද දයාසිරි ජයසේකර ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බැංකු ගිණුමෙන් මුදල් ලබා ගැනීම සඳහා චෙක්පත්වලට අත්සන් කරන පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Share.
Leave A Reply

Exit mobile version