මහනුවර ශ්‍රී දළදා මාලිගාව සඳහා නව දියවඩන නිලමේවරයෙකු තෝරාගැනීම සඳහා වන නිලවරණය අද (7) සිදුකිරීමට නියමිතය.

ඒ අනුව ඊට අදාළ රැස්වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ මහනුවර බෞද්ධ බලමණ්ඩල ශාලාවේදී අද ප.ව. 2ට පැවැත්වීමට නියමිතව ඇත.

මෙවර මෙම තනතුර සඳහා 7 දෙනෙකු ඉදිරිපත්වීමට නියමිතව ඇති බව සඳහන්.

ඒ අනුව වත්මන් වැඩබලන දියවඩන නිලමේවන ප්‍රදීප් නිලංග දෑල, කතරගම මහා දේවාලයේ සහ පස්ගම ශ්‍රී නාථ දේවාලයේ ප්‍රධාන භාරකරු වන දමින්ද බණ්ඩාර උඩුරාවණ, නාථ දේවාලයේ සහ ඇම්බැක්කේ ශ්‍රී කතරගම දේවාලයේ ප්‍රධාන භාරකරු වන ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක යන මහත්වරු ඉදිරිපත්වීමට නියමිතය.

ඊට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුව සහ කළමනාකරණ පීඨයේ මහාචාර්ය තිලක් සුබසිංහ, එම විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරී ගාමිණී කළුහෙන්ඩිවල, බදුල්ල සෝනුත්තර රජමහා විහාරයේ සහ සතරමහා දේවාලයේ ප්‍රධාන භාරකරු සහ ව්‍යාපාරික රොෂාන් ප්‍රියදර්ශන, විශ්‍රාමික හමුදා කර්නල් නන්ද මඩුගල්ලේ යන මහත්වරුද මේ සඳහා ඉදිරිපත්වීමට නියමිතව ඇති බව සඳහන්.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට අනුව මහා සංඝරත්නයේ සාමාජිකයන් ඇතුළුව පුද්ගලයන් 263 දෙනෙකු මෙවර නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ.

විහාර සහ දේවාලගම් ආඥා පනතට අනුකූලව දියවඩන නිලමේවරයෙකුගේ ධුර කාලය වසර 10ක් වේ.

ඒ අනුව අද දිනයේ පත්වන දියවඩන නිලමේවරයාට 2035 දක්වා සේවය කිරීමට හැකියාව ඇත.

දියවඩන නිලමේවරයා පත්කර ගැනීම සම්බන්දයෙන් පැහැදිලිකරන මධ්‍යමපලාත් බෞද්ධ කටයුතු පිලිබද නියෝජ්‍ය කොමසාරිස් අනුරුද්ධ බන්ඩාර මහතා.

“රැස්වීමේදී නාමයෝජනා එකකට වැඩි ප්‍රමාණයක් ලැබුණහොත් ඒ අය අතරින් සුදුස්සෙක් තෝරාගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වෙනවා.

පනතට අනුව වයස අවුරුදු 18ට වැඩි 70ට අඩු සිංහල බෞද්ධ පිරිමි අයෙක් විය යුතුයි.

එමෙන්ම ඔහු උසාවියේ වැරදිකරුවෙකු නොවිය යුතුය” යැයි පැවසීය.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #SriDaladaMaligawa #DiyawadanaNilame #BuddhistCeremony #Kandy #SriLanka #Election2025 #CulturalHeritage #Buddhism #Leadership #Tradition

Share.
Leave A Reply

Exit mobile version