සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකු නවක වධ තත්ත්වයකට මුහුණ පා සියදිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබාදී තිඛෙනවා.
සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද බරපතළ නවක වධ තත්ත්වයකට මුහුණ පා සියදිවි නසා ගැනීමේ සිද්ධිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය, එහි ලේකම් නීතිඥ චතුර ගල්කේන යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණු අතර, මෙම පෙත්සම ඊයේ යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණා. ඒ අනුව නවකවධය වැළැක්වීමේ පනත යටතේ නවක වධ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට විභාග කොට අවසන් වූ සහ දැනට විභාග වෙමින් පවතින සිද්ධීන් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා.
එමෙන්ම රාජ්‍ය විශ්ව විද්‍යාලවල නවකවධ සිද්ධීන් සම්බන්ධයෙන් ගනු ලැබූ විනය ක‍්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කෙරුණු අතර, ඊට අමතරව සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක වධය හේතුවෙන් පීඩාවට පත්වූ සිසු සිසුවියන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙතද විනිසුරු මඩුල්ල විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඉන් අනතුරුව අදාළ පෙත්සම්, විභාග කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මස 29 වැනිදා කැඳවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇත්තේ.

