මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා සිදුවූ මූල්‍ය ගනුදෙනුවලදී මතුවූ ගැටලුකාරී තත්ත්වය රජය විසින් හිතාමතා සඟවාගෙන සිටි එකක් නොවන බවත්, එය සැලසුම් සහගත ඉලක්කගත වංචාවකට වඩා සන්නිවේදන ක්‍රියාවලියේ පැවති දුර්වලතාවයක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසනවා.
එහිදී 2026 වසරේ ජනවාරි මාසයේදී ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයකට ගෙවිය යුතුව තිබූ ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන්ගේ බලපෑම මත වෙනත් විද්‍යුත් ලිපිනයකට අදාළ ගිණුමකට බැර වී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළා.
මෙම වංචාකාරී ක්‍රියාව සැලවූ වහාම මුදල් අමාත්‍යාංශ බලධාරීන් සහ රජය ඒ පිළිබඳව අවශ්‍ය නීතිමය පියවර ගත් බවත්, ඉන්දියාවට සිදු කිරීමට නියමිතව තිබූ තවත් ගෙවීමකදී ද මෙවැනිම වැරදි ගිණුම් අංකයක් ඉදිරිපත්ව තිබූ අතර, රජයේ කඩිනම් මැදිහත්වීම මත එය වළක්වා ගැනීමට හැකි වූ බවත් මන්ත්‍රීවරයා පැවසුවා.
විපක්ෂය විසින් එල්ල කරන “තොරතුරු සඟවාගෙන සිටි බවට” වන චෝදනාවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, වගකිවයුතු ආණ්ඩුවක් ලෙස මෙවැනි සිදුවීම් පිළිබඳව විමර්ශන අවසන් වීමට පෙර තොරතුරු හෙළි නොකළ බවයි.
රජය මෙම කරුණු වසන් කරගෙන සිටි බවට විපක්ෂය නගන චෝදනා මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රතික්ෂේප කළ අතර, හැකර්වරුන් තමන්ගේ උපක්‍රම සහ ක්‍රමවේද වෙනස් කිරීමට ඉඩ ඇති බැවින්, අදාළ මුදල් නැවත අයකර ගැනීමේ ක්‍රියාවලියට බාධාවක් නොවන සේ ආරක්ෂිත පියවර ගනිමින් සිටි බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මේ වන විටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ පරිගණක අපරාධ අංශය මගින් විමර්ශන ආරම්භ කර ඇති අතර, අදාළ නිලධාරීන්ට එරෙහිව ආයතනික විනය පරීක්ෂණ ද ක්‍රියාත්මක බවත් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කලා.


