ආපදාවට පත් පාසල් යළි යථාතත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති මෙම හමුවේ දී ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ ශිෂ්‍ය ප්‍රජාව ආරක්ෂා කර ගැනීම හා හානියට පත් වූ පාසල් පද්ධතිය යළි නගාසිටුවීම සඳහා රජය කටයුතු කරන ආකාරය පිළිබඳව සහ ඊට ඇති අභියෝග පිළිබඳව අග්‍රාමාත්‍යවරිය කරුණු පැහැදිලි කර ඇති බව සඳහන් වේ.

නායයාම් ආශ්‍රිත පාසල් නැවත එම ස්ථානවලම විවෘත කිරීම අතිශය අනතුරුදායක බැවින් එවැනි පාසල් හඳුනාගෙන, විද්‍යාත්මක පදනමක් මත සුදුසු ස්ථානයක ස්ථානගත කිරීම කෙරෙහි රජය අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කර තිබේ.

විපතට පත් පාසල් සිසුන් වෙත මුදල් සහන සලසමින් දෙමව්පියන්ට අමතර බරක් නොවී නැවත දරුවන් පාසල් වෙත යැවීමට රජය විසින් අවශ්‍ය කටයුතු සලසා ඇති බව ද අග්‍රාමාත්‍යවරිය යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයින් වෙත පෙන්වාදී ඇත.

අධ්‍යාපන ක්ෂේත්‍රය යළි යථා තත්ත්වයට පත්කරලීමට රජයක් වශයෙන් දක්වන කැපවීම සහ ඒ සඳහා ගෙන යන වැඩපිළිවෙළ එහිදී ඇගයීමට ලක් කර ඇති යුනිසෙෆ් නියෝජිතයින් ඒ සඳහා රජයට අවශ්‍ය උපරිම සහාය ලබාදෙන බව ද ප්‍රකාශ කර තිබේ.

Share.
Leave A Reply

Exit mobile version