හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉරාන ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඇමෙරිකානු නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම “සන්නද්ධ මුහුදු කොල්ලකෑමක්” ලෙස ඉරානය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.
මෙම ක්‍රියාවට එරෙහිව නිසි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ටෙහෙරානය ප්‍රතිඥා දී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ලබාදුන් අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන් ඕමාන් බොක්කේදී ඉරාන භාණ්ඩ ප්‍රවාහන නෞකාව ඇමරිකානු නාවික හමුදාව විසින් පහරදී නතර කළ බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ.
සිය ටෘත් සමාජ ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළා.
මේ අතර ඉරානය සමග සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු නියෝජිත පිරිසක් අද පස්වරුවේ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට ළඟා වීමට නියමිතයි.
ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම සාකච්ඡා හරහා නිසි එකඟතාවකට පැමිණීමට ඉරානය අපොහොසත් වුවහොත්, එරට පාලම් සහ විදුලි බලාගාර ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි.
හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය අවහිර කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් දෙරට අතර පවතින අර්බුදය සමනය කර ගැනීම මෙම සාකච්ඡාවල මූලික අරමුණ බව සඳහන්.
කෙසේ වෙතත්, ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඉරානය ලෝකයටම තර්ජනයක් වෙමින් කටයුතු කරන්නේ නම් ඇමරිකාව උපරිම බලය භාවිත කිරීමට පසුබට නොවන බවයි.
මේ අතර ඇමරිකාව සමග පවත්වන සාකච්ඡා වටය සඳහා ඉරාන නියෝජිත පිරිසක් ලබන අඟහරුවාදා පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේ වෙතත් අමෙරිකාව සමඟ දෙවන වටයේ සාකච්ඡා සඳහා සහභාගී වීමට තමන් එකඟ වූ බවට පළවන වාර්තා ඉරානය නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

