ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) නිල සංචාරයක් සඳහා රුසියාවේ මොස්කව් නුවර බලා පැමිණෙන බව රුසියානු විදේශ අමාත්‍යාංශය අද (26) තහවුරු කළා.
මොස්කව් නුවරදී පැවැත්වෙන සාකච්ඡාවලදී අරග්චි හෙට (27) රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට නියමිත බවයි ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ.
කලාපීය ආරක්ෂාව, සටන් විරාම සාකච්ඡා සහ මැදපෙරදිග පවතින උණුසුම් තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
පසුගිය දින කිහිපය තුළ ඉරාන විදේශ අමාත්‍යවරයා පාකිස්තානය සහ ඕමානය යන රටවලද සංචාරය කළ අතර, රුසියානු සංචාරය ඔහුගේ මෙම රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමේ තීරණාත්මක පියවරක් ලෙස සැලකෙනවා.
ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා වන සාකච්ඡාවල නවතම ප්‍රගතිය පිළිබඳව මොස්කව් පාලනය දැනුවත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් බව රුසියාවේ ඉරාන තානාපති කාසෙම් ජලාලි සඳහන් කරනවා.

