දැනට පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉරානයට ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී විය නොහැකි බව එරට ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබියදීත්, ඉරාන කණ්ඩායම අනිවාර්යයෙන්ම තරගාවලියට එක්වන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ දැඩි විශ්වාසයෙන් ප්‍රකාශ කරන බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ඉරාන ක්‍රීඩකයින්ගේ “ජීවිත සහ ආරක්ෂාව” පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කර ඇති පසුබිමක වුවද, ඉරාන කණ්ඩායම “අනිවාර්යයෙන්ම” අමෙරිකාව බලා පැමිණෙනු ඇතැයි සභාපතිවරයා පසුගිය බදාදා යළිත් අවධාරණය කළා.

අමෙරිකාව සහ ඉශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධය මේ වන විට පාකිස්ථානයේ මැදිහත් වීම මත සති දෙකක සටන් විරාමයකට එළැඹ තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ ඉරාන බලධාරීන් කිහිප වරක්ම ෆිෆා ආයතනයෙන් ඉල්ලා ඇත්තේ තම කණ්ඩායමේ තරග අමෙරිකාවෙන් බැහැරව මෙක්සිකෝව වෙත මාරු කරන ලෙසයි.

මෙවර ලෝක කුසලානය අමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල් ත්‍රිත්වයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත්, ඉරානය කළ මෙම ඉල්ලීම ෆිෆා සභාපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

තරග පවත්වන ස්ථාන වෙනස් කිරීම ප්‍රායෝගිකව සිදු කළ නොහැකි බවත්, ඉරාන ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ වගකීම ගන්නා බවත් ඔහු මෙහිදී අවධාරණය කළා.

#newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version