පළාත් පාලන ආයතනයක සභික ධූරයක් දරන පුද්ගලයකු මන්ත්‍රී පට්ටමේ “හයිය” පෙන්නා විරුද්ධ පාක්ෂිකයකු මට්ටු කරන්නට ගොස් අමතක නොවන පාඩමක් ඉගෙන ගෙන ඇති පුවතක් ගැන දකුණු පළාතේ සංචාරක පුරවරයකින් පසුගියදා අසන්නට ලැබුණි.
මෙම තැනැත්තා සංචාරකයන්ට මග පෙන්වන්නකු ලෙසකටයුතු කළ අයෙකි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජනප්‍රිය දේශපාලන පක්ෂයකින් නාම යෝජනා ලබාගෙන මන්ත්‍රී ධූරයක්ද ලබා ගැනීමට හෙතෙම සමත් වන්නේය. දැන් ඔහු විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙකි.
ඔහු සභිකධූරය දරන පළාත් පාලන ආයතනය මගින් ප්‍රදේශයේ අතුරු මාර්ගයක සෝලා විදුලි පහන් සවි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළේය.
එහි පළමු පියවර ලෙස පළාත් පාලන ආයතනයේ සේවකයෝ අදාළ මාර්ගය දෙපස එළිපෙහෙළි කිරීම ආරම්භ කළහ. මෙම ස්ථානයට ආ මෙම මන්ත්‍රීවරයා මෙය තමාගේ ව්‍යාපෘතියක් බව ගම්මුන්ට හඟවමින් කම්කරුවන්ට උපදෙස් දෙන්නට පටන් ගත්තේය. මේ මාර්ගයේ ඔහුගේ විරුද්ධවාදියකුගේ කෙසෙල් වගාවක්ද තිබුණි. එම කෙසෙල් ගස්ද කපා දමන්නැයි ඔහු සේවකයන්ට උපදෙස් දුන්නේය. ඔවුන් මාර්ගයට නැමී තිබුණු කෙසෙල් අතු කපා දැමීය. නෑ නෑ ගස් පිටින්ම බිම දමන්නැයි” ඔහු අණ කළේය.
අපට නීතිවිරෝධී වැඩ කරන්න නොහැකි බව කියමින් සේවකයෝ එය ප්‍රතික්ෂේප කළෝය. උඹලට බැරි නම් මම කපන්නම්” කියමින් කැත්තක් ඉල්ලාගෙන කෙසෙල් කොරටුවට වැදුණු මන්ත්‍රීවරයා කැන් සහිත කෙසෙල් ගස් සමග ගස් රැසක් තපා බිම හෙළීය.
සිද්ධිය ආරංචි වී අයිතිකරු පැමිණෙන විට කෙසෙල් ගස් බිම හෙළා අවසන් ය. ඔහු ඇතුළු ප්‍රදේශවාසීහු සිද්ධියෙන් මහත්සේ කම්පාවී සිටි අතර බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි අයිතිකරු සිදුකර ඇති විපත ගැන පොලිසියට පැමිණිලි කළේය.
ආරවුල බේරන්න දෙපාර්ශ්වයම පොලීසියට කැඳවිය. සිද්ධියෙන් මහත්සේ බියට පත්ව සිටි මන්ත්‍රීවරයා “මං අලාබෙ ගෙවන්නම් සර්. මේක සමතයට පත් කරමු” යැයි නඩුව විභාග කළ නිලධාරියාට ආයාචනා කළේය “අලාභය කියදැයි” නිලධාරියා පැමිණිලිකරුගෙන් විමසීය. මම අද මුට හොඳ පාඩමක් උගන්වනවා යැයි සිතූ පැමිණිලිකරු අලාභය “රුපියල් ලක්ෂයක්” යැයි කීවේය.
මන්ත්‍රීවරයාට හීන් දාඩිය දැමීය. හීන් දාඩිය ටික ටික ලොකුවී කලිසම ද තෙත් කරමින් පහළට වැගිරෙන අතරේ “එච්චර අලාභයක් වෙලා නෑ සර්” යැයි හැඬුම් ස්වරයෙන් තෙපලීය. අලාභය ගෙවනවා නම් ඉල්ලන මුදල දෙන්න වෙන බවත්, ඊට අකමැති නම් එය උසාවියේ දී බේරාගත හැකි බවත්, උසාවියට ඉදිරිපත් කරන තෙක් පොලිස් කුඩුවේ ගත කරන්නට සිදුවන බවත් නිලධාරියා පැහැදිලි කළේය. ඉන්පසු ඔහු රුපියල් ලක්ෂයක අලාභය සතියක් ඇතුළත පැමිණිලිකරුට ලබා දෙන බව පවසමින් පොලිසියෙන් පිටව ගොස් ඇත.
“පට්ටමේ” හයියෙන් අහිංසක ගම්වැසියකුට වළ කපන්න ගොස් තමාම ඒ වළට වැටුණු මේ පොඩි ආණ්ඩු මන්ත්‍රීවරයාගේ හපන්කම දකුණු පළාතේ පමණක් නොව ලොව පුරාම ප්‍රසිද්ධ වී ඇතැයි තතු දත්තෝ පවසති.

