බලශක්ති අමාත්‍යවරයා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ පරීක්ෂණවලට සහාය ලබා නොදීමට බවත් ඔහු ඉල්ලා අස්වූයේ මහජනතාවගෙන් පැමිණි දැඩි පීඩනය නිසා බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව පැවසුවේ අද (18) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

බලශක්ති ඇමතිවරයාට එරෙහිව විරුද්ධ පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව විසින් පරාජයට පත් කිරීමෙන් සතියක් වැනි කාලයක් තුළදී අමාත්‍යවරයා ඉල්ලා අස්වීම තුළින් ආණ්ඩුවේ පරාජය ඉතා හොඳින් පෙන්නුම් කරන බවත් මෙය මහජනතාව ලබා ගත් ජයග්‍රහණයක් බවට ඉතා හොඳින් තහවුරු වන බවද මරික්කාර් මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසුවා.

පරීක්ෂණවලට සහය දෙන්න කියලා ඉල්ලා අස්වෙච්ච කතාව පට්ටපල් බොරුවක්. මොකද මේ ආණ්ඩුව එයාලගේ. ජනාධිපතිවරයා එයාලගේ, පොලිස්පතිවරයා එයාලගේ.
2009 වර්ෂයේ ඉඳලා ගල් අඟුරුවල අක්‍රමිකතා තියෙනවනම් හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරපු එක හොඳයි.

හැබැයි ඒ පරීක්ෂණය පටන් ගන්න ඕන මේ දැන් වෙච්ච අක්‍රමිකතාවේ ඉඳලයි හොයන්න පටන් ගන්න ඕන .
පරීක්ෂණ කරන්නත් කලින් ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් කියනවා බලශක්තිය ඇමති නිර්දෝෂයි කියලා එහෙම කියන්නේ කොහොමද ?
පාරේ යන ජනතාවගෙන් මයික් එකක් දික් කරලා අහන්න ගල් අඟුරු වංචාව ගැන, මේ ආණ්ඩුව ගැන එතකොට ඒ ජනතාව හොඳට කියයි.
ඇමෙරිකානු ඩොලර් 286 කට බොරතෙල් ගෙනාපු එකත් දැන් ඔප්පු වෙලා ඉවරයි .හොරු අල්ලන්න ආවායි කියලා බලය ගත්තු ආණ්ඩුව මේ කරන හොරකම් ගැන ජනතාව ඉන්නේ ඉතා හොඳ පාඩමක් ආණ්ඩුවට උගන්වන්න බලාගෙනයි.

Share.
Leave A Reply

Exit mobile version