ලෝක දේශපාලන කරළියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් දෙදින නිල සංචාරයක් සඳහා අද (19) චීනය වෙත පැමිණ තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරය නිමා වී සතියක් ගතවීමට පෙර රුසියානු ජනපතිවරයා චීනයේ සංචාරයකට එක්වීම විශේෂත්වයක්.
චීන ජනාධිපති ෂී ජින්පින් සිය පැරණි මිතුරා වන රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් වෙත කළ ආරාධනයකට අනුව රුසියානු ජනපති පුටින් චීනයේ දෙදිදන
සංචාරය අරඹමින් බෙයිජිං නුවරට පැමිණියා.
මෙහිදි රුසියානු ජනපතිවරයා උණුසුම් ලෙස පිළිගැනීමටද කටයුතු කරනු ලැබුවා.
මෙය රුසියානු ජනපතිවරයාගේ 25 වැනි චීන සංචාරය වීමද සුවිශේෂි වනවා.
ට්‍රම්ප් සහ පුටින් යන ලෝකයේ බලගතු රාජ්‍ය නායකයින් දෙපළක් සතියක කාලයක් තුළ සිය රටට ගෙන්වා ගැනීම හරහා වර්තමාන ගෝලීය අර්බුද හමුවේ චීනය
ලෝක දේශපාලනයේ ස්ථාවර සහ විශ්වාසවන්ත බලවතෙකු ලෙස නැගී සිටින බව පෙන්වීමට බෙයිජිං පරිපාලනය උත්සාහ දරනු ලබනවා.
මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුව හරහා දෙරට අතර පවතින ඕනෑම අවස්ථාවකට ඔරොත්තු දෙන නොබිඳෙන සබඳතාව ලෝකයටම ප්‍රදර්ශනය කිරීමද විශේෂයි.
බටහිර සම්බාධක හමුවේ රුසියාව චීනය සමඟ තවදුරටත් බලශක්ති සබඳතා ශක්තිමත් කරගැනීමද මෙම සංචාරයේ අරමුණයි.
මෙහිදී දීර්ඝ කාලීනව සැලසුම් කෙරෙන Power of Siberia 2 ගෑස් නල මාර්ග ව්‍යාපෘතිය පිළිබඳව දෙරටේ රාජ්‍ය නායකයින්ගේ විශේෂ අවධානයක් යොමුකරනු ඇති බවයි වාර්තාවන්නේ.
චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ මෙම සංචාරයේදී නායකයන් දෙපළ ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ජාත්‍යන්තර සහ
කලාපීය ගැටලු පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු කරගනු ඇති බවයි.

