රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධයේදී දින තුනක සටන් විරාමයක් ක්‍රියාත්මක වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

‘Truth Social’ හි සටහනක් තබමින් අමෙරිකානු ජනපති කියා සිටියේ, මෙම සටන් විරාමය සෙනසුරාදා සිට සඳුදා දක්වා පවතින බවයි.

“රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයේදී දින තුනක සටන් විරාමයක් (මැයි 9, 10 සහ 11 යන දිනවල) පවතින බව මම සතුටින් දන්වා සිටිමි,” යනුවෙන් ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා.

ඊට සුළු මොහොතකට පසු, යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ද ‘X’ පණිවුඩයක් නිකුත් කරමින් තහවුරු කළේ, වසර හතරකට වඩා වැඩි කාලයක් පවතින මෙම යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව දරන උත්සාහයේ කොටසක් ලෙස මෙම තෙදින සටන් විරාමය සංවිධානය කර ඇති බවයි.

රුසියානු ජනාධිපති සහායක යූරි උෂකොව් පසුව කියා සිටියේ, “අමෙරිකානු පරිපාලනය සමග අප පැවැත්වූ දුරකථන සම්බන්ධතා වලදී මේ පිළිබඳ එකඟතාවයකට පැමිණියා. ඒ හා සමානව අමෙරිකානු නියෝජිතයන් කියෙව් බලධාරීන් සමග සම්බන්ධ වී සිටියා,” යනුවෙන්.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ට්‍රම්ප් අතර මෑතකදී ඇති වූ දුරකථන සංවාදයකින් පසුව මෙම එකඟතාවය ඇති වූ බවත්, එහිදී දෙවන ලෝක යුද්ධ සමයේදී තම රටවල් මිත්‍ර පාර්ශවයන් ලෙස කටයුතු කළ ආකාරය සහ විජයග්‍රාහී දිනය සැමරුම් අතරතුර සටන් විරාමයක් ඇති කිරීමේ හැකියාව පිළිබඳවත් නායකයන් දෙපළ සාකච්ඡා කළ බවත්, ඔහු පවසා තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version