වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා පොලිසියට පාතාලයේ ආයුධ පිළිබඳව ඔත්තුවක් දුන් හේතුවෙන් එතුමා ඝාතනය කළා………

වැලිගම සභාපති පොලිසියට පාතාලයේ ආයුධ අල්ලා ගැනීමට ඔත්තුවක් ලබාදී පසුව පාතාලය විසින් ඔත්තුව ලබාදුන් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය කිරීමට ඔහු ඔත්තුව දුන් බව පාතාල නායකයා දැනගත්තේ කෙසේද කියා පොලිස්පතිතුමාගෙන් විමසන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2025.10.28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා,
“ රටට ජයග්‍රාහණ රාශියක් ගෙනාපු දකුණු ආසියාතික මලල ක්‍රීඩා තරඟාවලියේ අනුශුරතාවය දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පක්ෂයක් හැටියටත් අපේ රටේ සියලුදෙනා වෙනුවෙන්ම උණුසුම් සුබපැතුම් පුදකරනවා වගේම තවත් ජයග්‍රාහණ රාශියක් රටට ගේන්න ඒ දරුවන්ට ශක්තිය ධෛර්ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
සෙව්වන්දි අල්ලගෙන ලංකාවට පැමිණෙන විට Breaking News, හැබැයි ආසියාතික රටක, අපේ රට පදක්කම් 40 ක් රැගෙන එන විට එහෙම දෙයක් දැක්කේ නැහැ. ඒ ගැන කණගාටුවට පත්වෙනවා. මන්ද ඒ දරුවෝ විශාල මහන්සියක් අරගෙන රටට ජයග්‍රාහණය ගෙනත් දුන්නේ. හැබැයි පාතාලයට සම්බන්ධ පිරිස් එන විට Breaking News යනවා. පාතාලයට නොවේ තැන දෙන්න ඕන මේ ජයග්‍රාහණය රැගෙන එන දරුවන්ට. ඒ නිසා ඒ දරුවන්ට නැවතවරක් අපි ආචාර කරනවා රටට ජයග්‍රාහණ රාශියක් ගෙනත් දෙන්න කටයුතු කිරීම පිළිබඳව.
නොවැම්බර් මාසයේ 21 වෙනිදා මේ ආණ්ඩුව බලයට පත්වෙලා අවුරුද්දක් වෙනවා. ජනාධිපතිතුමා බලයට පත්වෙලා අවුරුද්දයි මාස 02 යි. මේ රටේ ජනතාව අවුරුද්දක් බලාගෙන සිටියා ආණ්ඩුව ප්‍රකාශ කළ දේවල් කරයි කියලා. නමුත් හැමදාම මේ පාතාලය හෝ කොහෙන් හෝ කෙනෙක් අල්ලාගෙන සතියකට සැරයක් නාඩගමක් කරනවා හැරෙන්න රටේ ජනතාවට අවශ්‍ය වැඩකටයුත්තක් කරන්නේ නැහැ. පාතාලය මඩින්න, මත්ද්‍රව්‍ය මේ රටින් තුරන් කරන්න. ඒ කටයුතු ඒ විදිහට කරන්න. නමුත් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඔත්තුවක් දුන්නා කියලා එතුමා ඝාතනය කරා කියනවා. අපි නොවේ කියන්නේ ආණ්ඩුවෙන් මෙවැනි ප්‍රකාශ සිදුකරන්නේ. පාතාලයේ නායකයෙකුට විරුද්ධව ඔත්තුවක් දෙන්න මනුෂ්ෂයෙක් එයිද? සභාපතිවරයෙක් ඔත්තු දිලා සභාපතිවරයා මැරුවානම්, මේ අහිංසක මනුස්සයෙක් කෙසේවත් ඔත්තුවක් ලබාදෙන්නේ නැහැ .ආණ්ඩුව කරන්න අවශ්‍ය, ඔත්තුවක් දුන්න නම් ඔත්තුව දුන් මනුස්සයාව රකින්න. එයයි යුතුකම. ඒ මනුස්සයා ඔත්තුව දුන් නිසයි ආයුධ අල්ලා ගත්තේ. හැබැයි දැන් ඔත්තුව දීපු මනුස්සයාව මරන්න ඔත්තුව දුන්නා කියලා පාතාල නායකයා දැනගත්තේ කොහොමද කියලා පොලිස්පතිතුමා විමසන්න කියලා අපි කියනවා. ඔත්තුව දෙන්න ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයට. ආරක්ෂක අමාත්‍යාංශයට දීපු ඔත්තුව පාතාල නායකයාට ගියේ කොහොමද? ඒක ගැන සොයා බලන්න. ඒකයි අපි කියන්නේ මේ මිනිමැරුම්වල යම්කිසි කුමණ්ත්‍රණයක් තියෙනවා කියලා. ආණ්ඩුව ඔය නාට්‍ය කරනවාට අමතරව මනුස්සයෙක් මැරුණු විගසම ඒ මනුස්සයාගේ පැටිකිරිය කියනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියා සිටිනවා මීට වඩා මිනිස්සුන්ගේ පැත්තෙන් සිතන්න.

අපි ආණ්ඩුව ගෙදර යවන පළවෙනි වෙඩිමුරය නොවැම්බර් 21 දා නුගේගොඩදි ආරම්භ කරනවා. ආණ්ඩුව ගෙදර යවලා තමයි අපි ආපහු මේක නතර කරන්නේ. ආණ්ඩුවට කාලයක් දුන්නා, ඒ කාලය තුළ අපි බැලුවා ජනතාවට ප්‍රකාශ කළ පොරොන්දු ඉෂ්ට කරයි කියලා. නමුත් කිසිදෙයක් ඉෂ්ට කළේ නැහැ. ආණ්ඩුව හදන්නේ වැඩවර්ජනයක් කළොත් මර්ධනය කරලා ඒ වැඩවර්ජනය ආපස්සට හරවන එක. පහුගිය කාලයේම සාධනීය කරුණු එක්ක රාජ්‍ය සේවකයෝ වැඩවර්ජනය කළා. ඒ කිසිදු එකකට ආණ්ඩුව ඇහුම්කන් දුන්නේ නැහැ. ඇහුම්කන් නොදි එක් එක්කෙනා අල්ලගෙන ඒවා යටපත් කළා. ඒ නිසා ආණ්ඩුව හදනවා තනි ගමනක් යන්න. අපි මේ රටේ ආණ්ඩුවේ මේ වැඩපිළිවෙලට විරුද්ධව ඉන්න සියලුදෙනාටම ආරාධනා කරනවා නුගේගොඩට එන්න මහ ජන හඬ මේ අපේ රැස්වීමට සම්බන්ධවෙන්න කියලා. අපි ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙල ආරම්භ කරනවා. ” යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.

Share.
Leave A Reply

Exit mobile version