එතෙක් මෙතෙක් මිනිසා විසින් යවන ලද අභ්‍යාවකාශයේ වැඩිම දුර ගමන් කල යානය වූ වොයේජර් 1 (Voyager 1) යානයේ , තවත් විද්‍යාත්මක උපකරණයක් අක්‍රිය කර ඇති අතර නාසා (NASA) ඉංජිනේරුවන් විසින් එය සිදුකර ඇත්තේ අභ්‍යවකාශ යානයේ ආයු කාලය දීර්ඝ කිරීම සඳහායි. වසර 47ක් පැරණි මෙම ගවේෂණ යානය 2030 දශකය දක්වා තාරකා අතර අවකාශයේ (interstellar space) සිට සංඥා එවීම පවත්වාගෙන යාම සඳහා ක්‍රියාත්මක කරන ලද බලශක්ති ඉතිරිකිරීමේ උපාය මාර්ගයක් වශයෙන් මෙම උපකරණය ක්‍රියා විරහිත කර තිබෙනවා..
දකුණු කැලිෆෝනියාවේ පිහිටි ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ (JPL) මෙහෙයුම් ඉංජිනේරුවන් විසින් ‘Low-energy Charged Particles experiment’ (LECP) හෙවත් අඩු ශක්ති ආරෝපිත අංශු පරීක්ෂණ උපකරණය අක්‍රිය කරන ලෙස අප්‍රේල් 17 වන දින විධානයන් නිකුත් කළ බව අභ්‍යවකාශ ඒජන්සිය තහවුරු කළේ. සෞරග්‍රහ මණ්ඩලයෙන් සහ මන්දාකිණියෙන් නිකුත් වන අයන, ඉලෙක්ට්‍රෝන සහ කොස්මික් කිරණ ඇතුළු අඩු ශක්ති ආරෝපිත අංශු මැනීමට මෙම උපකරණය භාවිතා කළ බවයි නාසා ආයතනය පවසන්නේ
එක්සත් ජනපදයේ පිහිටි මෙම අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ , බලශක්තිය අඩුවෙමින් පවතින මෙම න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන අභ්‍යවකාශ යානය අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට තවදුරටත් ගමන් කරවීම සඳහා ගත හැකි හොඳම පියවර මෙයබවයි. LECP උපකරණය අක්‍රිය කිරීමෙන් වොයේජර් 1 යානයට තවත් වසරක පමණ අමතර කාලයක් ලැබෙනු ඇති බව නාසා ආයතනය සඳහන් කළේය.
වොයේජර් 1 යානය සතුව තවමත් ක්‍රියාත්මක වන විද්‍යාත්මක උපකරණ දෙකක් පවතී – එකක් ප්ලාස්මා තරංග (plasma waves) නිරීක්ෂණය කරන අතර අනෙක චුම්බක ක්ෂේත්‍ර මනිනු ලබයි. වෙනත් කිසිදු මිනිසා විසින් සාදන ලද යානයක් ගවේෂණය නොකළ අභ්‍යවකාශ කලාපයක සිට දත්ත එවමින් එම උපකරණ තවමත් මනාව ක්‍රියාත්මක වේ. වොයේජර් යානා දෙකම හැකිතාක් කල් පවත්වාගෙන යාම කෙරෙහි කණ්ඩායමේ අවධානය යොමු වී ඇත.”

