ශ්‍රී ලංකා පොලීසියට අත්‍යවශ්‍යව සිටි ප්‍රබල පාතාල සාමාජිකයෙකු වන සෝබන හන්දි සනත් ද සිල්වා හෙවත් ‘රාජු’ නැමැත්තා ඉන්දීය ආරක්ෂක අංශ විසින් එරටදී අත්අඩංගුවට ගෙන තිබේ. මනුෂ්‍ය ඝාතන ඇතුළු බරපතළ ගණයේ අපරාධ දහපහළොවකට අධික ප්‍රමාණයකට චෝදනා ලබා සිටින මොහු, දකුණු පළාතේ ප්‍රසිද්ධ අපරාධකරුවෙකු වූ සෝබන හන්දි ජයලත් ද සිල්වා හෙවත් ‘කරන්දෙණියේ සුද්දාගේ’ සොහොයුරා ද වෙයි.
අත්අඩංගුවට පත් සැකකරු මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරන විශේෂ නිලධාරීන් කණ්ඩායමක් අ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.
පසුගිය කාලසීමාව තුළ දකුණු පළාත කැළඹූ ඝාතන රැල්ලේ ප්‍රධාන චූදිතයන් ලෙස මෙම සොහොයුරන් දෙදෙනා සැලකෙන අතර, කුලී ඝාතකයන් ලෙස ඔවුන් සිය අපරාධ ජීවිතය ආරම්භ කර තිබේ. කල්ලියේ නායකත්වය කරන්දෙණියේ සුද්දා විසින් දැරුවද, ඔවුන්ට ලැබෙන සියලුම මනුෂ්‍ය ඝාතන කොන්ත්‍රාත්තු සැලසුම් කරමින් ඒවා මෙහෙයවීමේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ රාජු නැමැත්තාය. පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පසුව යුද හමුදා විශේෂ බලකායේ සේවය කර ඉන් ඉවත්වීමෙන් අනතුරුව මොහු මෙලෙස සංවිධානාත්මක අපරාධ කල්ලි වෙත යොමුවී ඇති බවට විමර්ශනවලදී තහවුරු වී ඇත. හිත හොඳ දොස්තර ඝාතනය මෙන්ම පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ මහතා ඝාතනය කිරීමේ සිද්ධීන් ද රාජුට එරෙහිව ඇති ප්‍රධාන චෝදනා අතරට ගැනේ.
අපරාධ රැසකට සම්බන්ධ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක් ද නිකුත් කර තිබුණි. මීට වසර කිහිපයකට පෙර ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් සිය සහෝදරයා ද සමග ඔහු ඩුබායි රාජ්‍යය වෙත පලාගොස් ඇති බවට පොලීසිය කරුණු අනාවරණය කරගෙන තිබුණි. කෙසේ වෙතත්, ඩුබායි සිට මෑතකදී ඉන්දියාවට පැමිණ ඇති ඔහු, එරට සිට යුරෝපීය රටකට පලායාම සඳහා වීසා ලබාගැනීමේ උත්සාහයක නිරත වන බවට ශ්‍රී ලංකා බුද්ධි අංශ වෙත රහසිගත තොරතුරක් ලැබී ඇත. එම තොරතුර මත වහාම ක්‍රියාත්මක වූ මෙරට ආරක්ෂක අංශ ඒ පිළිබඳව ඉන්දීය බලධාරීන්ව දැනුවත් කිරීමෙන් අනතුරුව, පසුගිය සඳුදා දිනයේදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඒ බව නිල වශයෙන් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

