සඳ ගවේෂණ මෙහෙයුම සාර්ථකව නිමා කළ ‘Artemis II’ යානය කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට ආරක්ෂිතව ගොඩ බැස්ස වූ බව විදෙස් පුවත් වාර්තා කරනවා.

දින දහයක සාර්ථක සඳ ගවේෂණයකින් පසුව මෙම යානය අද (11) අළුයම් කාලයේදී ගොඩ බස්වා තිබෙනවා.

යානය පතිත වූ ස්ථානයට ඉහළින් රැඳී සිටින හෙලිකොප්ටර් යානා මගින් ගගනගාමීන් එක් අයෙකු බැගින් එළියට ගෙන තිබෙනවා.

මෙම හෙලිකොප්ටර් මගින් කාර්ය මණ්ඩලය අමෙරිකානු නාවික හමුදාවට අයත් USS John P. Murtha නෞකාව වෙත රැගෙන යනු ඇති අතර, එහිදී ඔවුන් මෙහෙයුමෙන් පසු සිදු කරනු ලබන සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණවලට භාජනය වීමට නියමිතයි.

එසේම ගගනගාමීන් සිව්දෙනා නිරෝධායනයට යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

යානය පෘථිවි වායුගෝලයට ඇතුළු වූ පසු එය පැසිෆික් සාගරයට ගොඩබැස්වීමට පෙර එහි වේගය පැයට කිලෝමීටර 38,000 දක්වා අඩු කිරීමටයි ගගනගාමීන් කටයුතු කළේ.

ඒ අනුව, දින 10ක් පුරා ක්‍රියාත්මක වූ මෙම ඓතිහාසික චන්ද්‍ර මෙහෙයුම දකුණු කැලිෆෝනියාවේදී මෙලෙස අද නිමාවට පත් වුණා.

වසර 54කට පසු මිනිසුන් යළිත් සඳ ආසන්නයට ගමන් කිරීම සඳහා නාසා ආයතනය විසින් ගගනගාමීන් සිව්දෙනෙකුගෙන් සමන්විත ආටෙමිස් ටූ මෙහෙයුම දියත් කළේ පසුගිය අප්‍රේල් පළමුවැනිදායි.

දින දහයක මෙහෙයුමක් වූ මෙහි සුවිශේෂිතාව වන්නේ ගගනගාමීන් සඳමත ගොඩ බැසීමක් සිදු නොකර ඔරියොන් කැප්සියුලය තුළම රැඳී සිටිමින් සඳ වටා ගමන් ගනිමින් සඳේ අඳුරු පැතිකඩ නිරීක්ෂණය කිරීමයි.

එහිදී තවත් සුවිශේෂී වාර්තාවක් පිහිටුවමින් 1970 වසරේ ඇපලෝ 13 මෙහෙයුමේදී ගගනගාමීන් පෘථිවියේ සිට ගමන් කළ වැඩිම දුර පිළිබඳ වාර්තාව බිඳ හෙළීමටත් මෙම ගගනගාමීන් සමත් වුණා.

ඇපලෝ 13 මෙහෙයුමේ ගගනගාමීන් ගමන් කළ දුර කිලෝමීටර 400,171ක් වූ අතර ආටෙමිස් ටූ ගගනගාමීන් ඊට වඩා කිලෝමීටර 6,607ක් ගමන් කරමින් එම වාර්තාව බිඳ හෙලු‍වා.

මෙම ගමනේදී ගගනගාමීන් සහ පෘථිවිය අතර සබඳතාව මිනිත්තු 40ක පමණ කාලයකට බිඳ වැටුණේ ගගනගාමීන් සඳෙහි අඳුරු ප්‍රදේශය හෙවත් පිටුපස ප්‍රදේශයට ගමන් කිරීම ආරම්භ කිරීමත් සමගයි.

#newsforcelk #newsforcelklive #gossipmint #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

Share.
Leave A Reply

Exit mobile version