ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය විසින් පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් වෙත යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් ඔහුගේ විශේෂ අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමයේ ලේකම් පේමසිරි මානගේ මහතා වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.
ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය විසින් පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් යවන ලද ලිපිය මගින් ප්‍රධානම් කරුණ ලෙස ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේතුවේ නියෝජ්‍ය මහලේකම්වරයාගේ සේවය තහනම් කර ඇත්තේ නීති විරෝධී හා ද්වේශ සහගත ලෙස බවයි. එය නීතිමය ක්‍රමවේද, ස්වාභාවික නීතිමය සාධාරණත්වය සහ ආයතනික ස්වාධීනතාවය දැඩි ලෙස උල්ලංඝනය කරන ලද ක්‍රියාවක් ලෙස කර ඇතැයි එම ලිපියේ දැක්වෙයි.
තවද, මෙම සේවය තහනම් කිරීම, ඊට නීතිමය බලය නොමැති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කමිටුව (SAC) මගින් සිදුකර ඇති බවත්. එමගින් එය තමා වෙත නැති බලයක් පවරාගෙන සිදුකරන ක්‍රියාවක් බවත් එම ලිපිය මගින් කියා ඇත. එමෙන්ම, මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කථානායකවරයා විසින් ද්වේශ සහගත පදනම් මත සිදුකරන ලද්දක් බව නියෝජ්‍ය මහ ලේකම්වරයා විසින් අභියාචනාධිකරණ හමුවේ. පවරන ලද නඩුවේදී ද කරුණු ඉදිරිපත් කර ඇතැයි ද එහි සඳහන්ය.
සංගමය කියා ඇත්තේ මෙම තීරණය ස්වාධීන පර්පාලන තීරණයක් නොව, වත්මන් කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ සෘජු පෞද්ගලික මැදිහත් වීමක් මත සිදුකර ඇති බවයි. මෙය ඔහු විසින් තම බලය ඉක්මවා ද්වේශ සහගත ලෙස කටයුතු කිරීමක් බව මේකී ලිපිය මගින් කියා ඇත.
මීට අමිතරව, වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තු පරිපාලනයට අනිසි ලෙස මැදිහත් වෙමින් විශේෂයෙන් කාන්තා සේවිකාවන්ට සහ උසස් නිලධාරීන්ට හිරිහැරයන් සිදුකරන බවත්, නියමිත ක්‍රමවේද මග හැර බලය අනිසි ලෙස භාවිත කරන බවත්, ශ්‍රී ලංකා රජය විසින් පවතින නීතීන්ට, සම්ප්‍රදායන්ට හා ජාත්‍යන්තර සම්මුතියන්ට පටහැනිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අයිතිවාසිකම් අසාධාරණය ලෙස අවලංගු කර ඇති බවත්, එමගින් ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවත් මෙකී ලිපිය මගින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය විසින් වැඩිදුරටත් කියා ඇත.

