හෝමුස් සමුද්‍ර සන්ධියේදී අමෙරිකානු හමුදාවේ ඉලක්ක බවට පත්වූ ඉරාන යාත්‍රා හය, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට (IRGC) අයත් යාත්‍රා නොව භාණ්ඩ හා මගීන් ප්‍රවාහනය කළ සිවිල් යාත්‍රා බවත්, එම ප්‍රහාරයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බවත්, ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
තස්නිම් (Tasnim) පුවත් ඒජන්සිය වෙත අදහස් දැක්වූ හමුදා නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකානු වාර්තාවලින් පසුව ඉරාන බලධාරීන් පරීක්ෂණයක් පවත්වන ලද බවයි.
එහිදී අනාවරණය වී ඇත්තේ, ඕමාන වෙරළ තීරයේ පිහිටි කසාබ් (Khasab) සිට ඉරාන වෙරළ දෙසට ගමන් කරමින් තිබූ සිවිල් වැසියන් රැගත් කුඩා භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා දෙකකට අමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කර ඇති බවයි.
“සතුරාගේ මෙම හදිසි සහ අදූරදර්ශී හැසිරීමට හේතුව, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) වේගවත් යාත්‍රා මෙහෙයුම් පිළිබඳව අමෙරිකානු හමුදාව තුළ පවතින දැඩි බිය සහ භීෂණයයි,” යනුවෙන් එම හමුදා නිලධාරියා පැවසූ බව තස්නිම් පුවත් සේවය සඳහන් කරනවා.
කලාපයේ අමෙරිකානු මෙහෙයුම් මෙහෙයවන මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) ප්‍රකාශ කර ඇත්තේ, වාණිජ නෞකාවලට තර්ජනයක් වූ ඉරාන කුඩා යාත්‍රා විනාශ කිරීම සඳහා සී හෝක් (Sea Hawk) සහ ඇපාචි (Apache) ප්‍රහාරක හෙලිකොප්ටර් යාත්‍රා භාවිතා කළ බවයි.
සඳුදා දිනයේ ඉරාන වේගවත් යාත්‍රා හයක් ඉලක්ක කරගත් බව ඔවුන් වාර්තා කර තිබුණා.
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා වන අමෙරිකානු මෙහෙයුම් අතරතුර, වාණිජ නෞකාවලට බාධා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම යාත්‍රා විනාශ කළ බව වොෂින්ටනය සඳහන් කර තිබෙනවා.
-අල්ජසීරා-


