• ඉන්දියාවෙන් දැඩි ප්‍රකාශයක් –

පවතින බටහිර ආසියානු ගැටුම් පසුබිම් කරගනිමින්, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) සිදුවන බාධා කිරීම් දුරස්ථ සිදුවීම් නොවන බවත්, ඒවා ඉන්දියාවේ ආරක්ෂාවට සහ ආර්ථික ස්ථාවරත්වයට සෘජු බලපෑම් එල්ල කරන රළු යථාර්ථයන් බවත් එරට ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ප්‍රකාශ කරනවා.

ඔහුගේ තෙදින ජර්මන් සංචාරයේ පළමු දිනයේදී එරට ආරක්ෂක සහ සුරක්ෂිතභාවය පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර කමිටුව අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, අද ලෝකය නව ආරක්ෂක තර්ජනවලට මුහුණ දී සිටින බවත්, තාක්ෂණික පරිවර්තනය හේතුවෙන් තත්ත්වය අතිශය සංකීර්ණ හා අන්තර් සම්බන්ධිත වී ඇති බවයි.

වෙනස් වන පරිසරයට අනුගත වීමේ කැමැත්ත සහිත නව ප්‍රවේශයක් කාලීන අවශ්‍යතාවයක් බව අමාත්‍යවරයා එහිදී පැවසුවා.

“තම බලශක්ති අවශ්‍යතාවලින් සැලකිය යුතු කොටසක් සඳහා බටහිර ආසියානු කලාපය මත යැපෙන ඉන්දියාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ බාධා කිරීම් යනු හුදු දුරස්ථ සිදුවීම් නොවේ, ඒවා අපගේ ආරක්ෂාවට සහ ආර්ථික ස්ථාවරත්වයට සෘජු බලපෑම් ඇති කරන රළු යථාර්ථයන්ය,” යැයි ඔහු සඳහන් කළා.

මෙම අභියෝග සහ ඒවායේ සෘජු බලපෑම් සැලකිල්ලට ගනිමින් ඉන්දියාව ක්‍රියාකාරී සහ සම්බන්ධීකරණ උපාය මාර්ගයක් අනුගමනය කර ඇති බවද ඔහු අවධාරණය කළා.

“ඉන්දියාවේ ද, අපගේ නවෝත්පාදන (start-ups) සහ ව්‍යවසායක පුද්ගලික සමාගම් අපගේ විශාල හා ස්ථාපිත ආරක්ෂක ව්‍යවසායන්හි හැකියාවන් වේගයෙන් ඉහළ නංවන අතර ඒවාට අනුපූරක වෙමින් සිටියි. මෙය ඉන්දියාව සහ ජර්මනිය ස්වභාවිකවම එකිනෙකාට අනුපූරක වන ක්ෂේත්‍රයක් වන අතර අපගේ හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කළ හැකිය,” යනුවෙන් ඔහු සඳහන් කළා.

දෙරට උපායමාර්ගික හවුල්කරුවන් පමණක් නොව, වර්තමාන ගෝලීය කතිකාව හැඩගැස්වීමේදී තීරණාත්මක හඬක් නගන රටවල් බව ද ඔහු යළිත් අවධාරණය කළා.

“අප පොදු වටිනාකම්වලින් බැඳුණු ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී රටවල් මෙන්ම ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය සහ දැඩි කාර්මික හැඟීමකින් මෙහෙයවන ගතික ආර්ථිකයන් වේ. නීති සම්පාදකයින් සහ මෙම කමිටුවේ ගෞරවනීය සාමාජිකයින් ලෙස, ඔබේ මගපෙන්වීම, හඬ සහ සහයෝගය අපගේ ආරක්ෂක සහ උපායමාර්ගික සහයෝගීතාවයේ අනාගත මාවත තවදුරටත් ශක්තිමත් කිරීමට සහ පොහොසත් කිරීමට උපකාරී වනු ඇත,” යනුවෙන් අමාත්‍යවරයා පැවසුවා.

Share.
Leave A Reply

Exit mobile version