මේ දිනවල දැඩි කතාබහකට ලක් වූ මල්වානේ ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පවරා ගන්නා බව අග්‍රාමාත්‍ය ආචර්ය හරිනි අමරසූරිය පවසයි.
ඇය මේ බව ප්‍රකාශ කළේ, අද (18) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍ය නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවේදීය.
ඉඩමේ ශක්‍යතා අධ්‍යයනයකින් පසුව සුදුසු කටයුතු වෙනුවෙන් භාවිත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව පැමිණ සිටි සිසුන් හමුවේ අග්‍රාමාත්‍යවරිය සඳහන් කර ඇත.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ගැටලුවලට සවන්දීමට අවශ්‍ය ඕනෑම මොහොතක සූදානම් බව ද අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කළාය.
තීන්දු තීරණවලට එළඹිය යුත්තේ සියලු අංශ සමඟ සාකච්ඡා කොට, පුළුල් අධීක්ෂණයකින් අනතුරුව බව ද හරිනි අමරසූරිය එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
“අවුරුදු ගාණකට පස්සෙ තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ නේවාසික පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති සඳහා අයවැයෙන් මුදල් වෙන් වෙලා තියෙන්නේ. මීට පෙර 60%ක පැවති උසස් අධ්‍යාපන අංශයේ අයවැය ප්‍රගතිය 2025 දී 80% දක්වා වර්ධනය කරන්න අපි සමත්වුණා.
ඒ ශිෂ්‍යයන්ගේ හඬට ඇහුම්කන්දීමේ සහ රජයක් ලෙස ශිෂ්‍ය සුබසාධන ගැටලුවලට මැදිහත්වීමේ ප්රතිඵලයි. මල්වාන ඉඩමත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පවරා ගෙන, ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර අනතුරුව සුදුසු උසස් අධ්‍යාපන ආයතනයකට පවරා ගන්න අපි කටයුතු කරනවා.”

