ශ්‍රී  ලාංකීය නර්තන කලාව ජාත්‍යන්තර තලයට රැගෙන ගිය අසහාය කලාකාරිණියක වූ අභාවප්‍රාප්ත කලා ශූරී, විශ්ව කලා කීර්ති රැජිණි සෙල්වනායගම් ගුරු මෑණියන්ගේ මගපෙන්වීමෙන් දශක පහකට අධික කාලයක් මුළුල්ලේ මෙරට සංස්කෘතික අනන්‍යතාවය සුරැකි චාමර කලා නිකේතනය, සිය අභිමානවත් කලා ඉතිහාසයේ තවත් රන් අකුරින් ලියවුණු සන්ධිස්ථානයක් පසුගියදා සනිටුහන් කළේය. ඒ, කොලොන්නාව රජමහා විහාර පින්බිමේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වූ ශීර්ෂාභරණ පැළඳවීමේ මංගල්‍යයත් සමගිනි.

පසුගියදා යෙදුණු  සුබ මුහුර්තියෙන් කොලොන්නාව රජමහා විහාර පින්බිම කලා ලොවේ අභිමානයෙන් ඒකාලෝක වූයේ, චාමර කලා නිකේතනය හරහා උඩරට නර්තන කලාව ප්‍රගුණ කළ දියණියන් 24 දෙනෙකු සිය නර්තන දිවියේ උසස්ම කිරුළ වන ශීර්ෂාභරණයෙන් සැරසුණු මොහොතේදීය. අභාවප්‍රාප්ත රැජිණි සෙල්වනායගම් ගුරු මෑණියන් සිත්හී වූ ඒ මතු පරම්පරාවට මේ උතුම් කලා උරුමය දායාද කරලීමේ මහඟු අරමුණ සාක්ෂාත් කරලමින්  , චාමර කලා නිකේතනයේ ගුරු මඩුල්ලේ ආශිර්වාදය පෙරදැරි මගපෙන්වීම යටතේ ශිල්ප හදාළ මෙම දියණියන්, මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද සහ සිය දෙමාපියන්ගේ නෙතඟ පිරුණු සතුටු කඳුළු මධ්‍යයේ සිය කලා දිවියේ මංගල පියවර තැබූහ.

මෙම අභිමානවත් අවස්ථාව සඳහා ශීර්ෂාභරණ පැළඳි දියණියන්ට අමතරව ඔවුන්ගේ දෙමාපියන්, ගුරු මඩුල්ල සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූ අතර, එය හුදෙක් උත්සවයකට එහා ගිය දේශීය නර්තන කලාවේ උන්නතිය උදෙසා කෙරුණු මහා සංස්කෘතික මංගල්‍යයක් බඳු විය.

අඩ සියවසකට අධික කාලයක් පුරා මෙරට නර්තන කලාවේ නොමැකෙන සලකුණක් තැබූ චාමර කලා නිකේතනය, අද වන විට දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ඉහළ පිළිගැනීමක් දිනාගත් කලායතනයකි. 1975 වර්ෂයේ සිට මේ දක්වා මෙම ආයතනයෙන් නර්තන ශිල්පය හැදෑරූ සිසු දරු දැරියන් සංඛ්‍යාව ලක්ෂ ගණනක් වන අතර, ඔවුන් අතරින් සැලකිය යුතු පිරිසක් ජාතික නැටුම් හා සංගීත විභාගයන් මෙන්ම පාසැල් විෂය නිර්දේශයට අනුකූල උසස් අධ්‍යාපන කඩඉම් ද ඉතා සාර්ථකව ජයගෙන තිබීම සුවිශේෂී වේ.

වර්තමානය වන විට මෙම ආයතනයෙන් බිහිවූ නර්තන ගුරු භවතුන් දහසකට අධික සංඛ්‍යාවක් දිවයින පුරා රජයේ සහ පෞද්ගලික පාසැල් පද්ධතිය තුළ සිය සේවය ලබා දෙමින්, අභාවප්‍රාප්ත රැජිණි සෙල්වනායගම් ගුරු මෑණියන් ආරම්භ කළ ඒ මහා කලා මෙහෙවර අනාගත පරපුර වෙත දයාද කිරීමට කැපවී සිටිති.

චාමර කලා නිකේතනය සතු ජාත්‍යන්තර කීර්තිනාමය ද අතිමහත්ය. ඉතාලිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය, එංගලන්තය, රුසියාව, ජර්මනිය සහ ප්‍රංශය ඇතුළු රටවල් රැසක මෙම ආයතනයේ උපාධිධාරී ශිෂ්‍යයන් සිය නර්තන පාසැල් පවත්වාගෙන යමින් හෙළ නර්තන කලාව ලොව පුරා ප්‍රචලිත කරති. විශේෂයෙන්ම 2009 වර්ෂයේදී ඉතාලියේ රෝම නගරයේදී පවත්වනු ලැබූ ශීර්ෂාභරණ පලඳනා මංගල්‍යය, විදේශයකදී එවැනි මහා පරිමාණ චාරිත්‍රමය උත්සවයක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසගත විය. ජාතික තරුණ සේවා නර්තන තරගාවලිවලදී මෙන්ම, බස්නාහිර පළාතේ හොඳම නර්තන කණ්ඩායම ලෙස ද අවස්ථා ගණනාවකදී සම්මානයට පාත්‍ර වී ඇති චාමර කලා නිකේතනය සහ එහි ආචාර්ය මණ්ඩලය, අභාවප්‍රාප්ත රැජිණි සෙල්වනායගම් ගුරු මෑණියන්ගේ උතුම් දර්ශනයට අනුව ඉදිරියටත් සිය ශාස්ත්‍රීය මෙහෙවර තුළින් මෙරට නර්තන කලාවේ පෝෂණය උදෙසා අනුපමේය දායකත්වයක් ලබා දීමට සූදානමින් සිටියි.

Share.
Leave A Reply

Exit mobile version