අරගලය පැවැති දා නිට්ටඹුවේදී ඝාතනයට ලක්වූ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා සම්බන්ධ නඩුවේ තීන්දුව ලබන ජනවාරි මස 14 දා ප්‍රකාශයට පත්කරන බව ගම්පහ මහාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ චුදිතයින් 41 දෙනකු සඳහා එලෙස නඩු තීන්දුව ලබාදීමට නියමිතයි.

ඉකුත් 2022 මැයි මස 09 වැනිදා නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වූ පොලිස් සැරයන් අහංගම විතාරනලාගේ ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා ඝාතනය කිරීම ඇතුළු අධිචේදනා 14ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නිතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබ තිබුණා.

මෙම නඩුවට අදාල විත්තිකරුවන් 41 ක් පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර පසුව එක් සැකකරුවකු නිදහස් කර ඇති අතර සැකකරුවන් දෙදෙනකු බන්ධනාගාරයේදී මියගොස් තිබුණා.

සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ විනිසුරුවරුන් හමුවේ මෙම නඩුව විභාගයට ගැනුණු අතර එහිදී විත්තියේ දේශන අවසන් කිරීමෙන් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබුණා.

මෙම නඩුවේ 13 හා 31 යන විත්තිකරුවන් මියගොස් ඇති අතර 39 හා ‍40 යන විත්තිකරුවන් අධිකරණය මගහැර විභාගයට ඉදිරිපත් වී නොමැත.

ඒ අනුව විත්තිකරුවන් 37 දෙනෙකුට එරෙහිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙහිදී ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි හා නීතිඥ චමින්ද අතුකෝරළ ඇතුළු නීතිඥවරුන් රැසක් විත්තිය වෙනුවෙන් දේශන පැවැත්වූවා.

මෙහිදී ගම්පහ මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සහන් මාපා බණ්ඩාර ප්‍රකාශ කළේ ඉදිරියේදී පැමිණිලි පාර්ශ්වයට හෝ විත්තිපාර්ශ්වයට අවශ්‍ය නම් ලිඛිත දේශන ඉදිරිපත් කිරීමේ අවස්ථාව තිබෙන බවයි.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර, රජයේ නිතීඥ ඔස්වල්ඩ් පෙරේරා පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටියා.

Share.
Leave A Reply

Exit mobile version