අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ අවධියේදී අයථා ලෙස වත්කම් අත්පත් කරගත් බවට චෝදනා කරමින්, අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන අධි චෝදනාවලට තමන් නිවැරදිකරු බව හිටපු ඇමති මර්වින් සිල්වා සිය නීතිඥවරයා මාර්ගයෙන් අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
අයථා ලෙස වත්කම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු විසින් මේ බව ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වෙන්නේ.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුව ගොනු කිරීමට පෙර අල්ලස් කොමිසම විසින් විත්තිකරුගේ ආදායම් සහ වියදම් පිළිබඳව දිවුරුම් ප්‍රකාශ ලබාගත් බවත්, එම ලේඛන පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව, නඩු නොපැවරීමට හේතු තිබේ නම් ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසම විසින් විත්තිකරුට දැනුම් දුන් බවත් අල්ලස් කොමිසම විසින් විත්තිකරුට දැනුම් දුන් බවත් ඇය සඳහන් කළා.
එහිදී විත්තිකරු සිය ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට නොහැකි වීම හේතුවෙන් මෙම නඩුව ගොනු කිරීමට කටයුතු කෙරුණු බවයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
2010 මාර්තු 31 වැනිදා සිට 2012 මාර්තු 31 වැනිදා අතර කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින්, සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 150 කට ආසන්න වටිනාකමකින් යුත් දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින්, දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

