ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර නිල හමුවක් අද (19) පෙරවරුවේ පවත්වා තිබෙනවා.
දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ ඉදිරි සහයෝගීතාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර, එම හමුව පිළිබඳව විපක්ෂ නායකවරයා සිය නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා ද අදහස් දක්වා තිබිණා.
මෙම හමුවේදී දෙරට අතර වෙළඳාම පුළුල් කිරීම සහ ආර්ථික සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වූ බව විපක්ෂ නායකවරයා සඳහන් කර තිබෙනවා.
විශේෂයෙන්ම දෙරටේම ජාතීන්ට ප්‍රතිලාභ අත්වන අයුරින් විවෘත කළ හැකි ප්‍රායෝගික අවස්ථා පිළිබඳව ඉතා ඵලදායී සාකච්ඡාවක් මෙහිදී සිදු වූ බව විපක්ෂනායකවරයා සිය මුහුණු පොතේ සටහනේ දක්වා තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යනු හුදෙක් අසල්වැසියන් පමණක් නොව, පොදු ඉතිහාසයක් සහ අභියෝගයන් බෙදාගන්නා සැබෑ හවුල්කරුවන් බව විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.
සියලු පුරවැසියන් වෙනුවෙන් මෙම ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයේ ප්‍රතිලාභ ළඟා කර දීම සඳහා, වැඩි අභිලාෂයක් සහ විශ්වාසයක් ඇතිව ඉදිරියට ගමන් කළ යුතු කාලය එළඹ ඇති බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය මුහුණු පොතේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

