‘Walk for Peace Program in Sri Lanka’ සාම පාගමන වෙනුවෙන් ඇමරිකානු සාම පාගමන සඳහා නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ‌ ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ මෙම සාම පාගමනට එක්ව ලොව පුරා ආදරයට පත් ‘ආලෝකා’ (Aloka) සුනඛයා ද ඔවුහු සමග මෙරටට පැමිණි සිටී.

මෙම සාම පා ගමනට සහභාගි වන තවත් භික්ෂුන් වහන්සේ කණ්ඩායමක් පසුගිය 18 වනදා මෙරටට වැඩම කළ අතර අද (21) පස්වරු 3.00ට ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී මෙම සාම පා ගමනට ආශිර්වාද ලබා ගැනීම සිදු කෙරේ. එහිදී අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ශ්‍රී මහා බෝධි අංකුරයක් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ‌ ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ වෙත පූජා කිරීමට නියමිතය.

එමෙන්ම, අද (21) පස්වරු 4.00ට ඓතිහාසික රුවන්වැලි මහා සෑය අභියස විශේෂ ආගමික වතාවත් සිදු කෙරේ.

අප්‍රේල් 21 සිට 28 දක්වා ගමන් මග

📍 අනුරාධපුරය
අප්‍රේල් 21 – අනුරාධපුරයෙන් සාම පාද යාත්‍රාව ආරම්භ වේ.

📍 දඹුල්ල
අප්‍රේල් 22 – දඹුල්ල විහාරයෙන් ආරම්භ වී මාතලේ අළුවිහාරයට ළඟා වේ.

📍 මාතලේ
අප්‍රේල් 23 – මාතලේ අළුවිහාරයෙන් ආරම්භ වී මහනුවරට ළඟා වේ.

📍 ශ්‍රී දළදා මාලිගාව – මහනුවර
අප්‍රේල් 24 – ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ වී බෙලිගම්මන රජමහා විහාරයට ළඟා වේ.

📍 බෙලිගම්මන
අප්‍රේල් 25 – බෙලිගම්මනින් ආරම්භ වී තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට ළඟා වේ.

📍 තෝලංගමුව
අප්‍රේල් 26 – තෝලංගමුවෙන් ආරම්භ වී යක්කල චන්ද්‍රජෝති විහාරයට ළඟා වේ.

📍 යක්කල
අප්‍රේල් 27 – යක්කලින් ආරම්භ වී කැළණිය රජමහා විහාරයට ළඟා වේ.

📍 කැළණිය
අප්‍රේල් 28 – කැළණියෙන් පිටත් වී නිදහස් චතුරස්‍රය හරහා ගමන් කර ගංගාරාම විහාරය වෙත පැමිණ සාම පාද යාත්‍රාව අවසන් වේ.

සාම පාගමනේ නිමාව සනිටුහන් කරමින් එහි වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත පූජා කිරීමට නියමිතය.

අනතුරුව ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පෙරහැරකින් ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කිරීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන්හි පූර්ණ අනුග්‍රහය යටතේ මෙම සාම පා ගමන සංවිධානය කෙරේ.

Share.
Leave A Reply

Exit mobile version