පසුගිය කාලයේදී රට පුරා ඉමහත් ආන්දෝලනයකට ලක් වූ කඩාබිඳ දමන ලද කුරුණෑගල ඉපැරැණි රාජසභා මණ්ඩපය මේ වන විට කිසිදු වගකිව යුතු ආයතනයක අවධානයට ලක් නොවී විනාශයට ලක් වෙමින් පවතී. ඒ ආසන්නයේ වෙසෙන ජනතාව පෙන්වා දෙන්නේ මෙම ස්ථානය මේ වන විට රාත්‍රි කාලයේදී මත්පැන් පානය කරන්නන්ගේ සහ ගණිකා සේවනයේ යෙදෙන්නන්ගේ තිප්පොළක් බවට පත්ව ඇති බවයි. කුරුණෑගල රාජධානි සමයට අයත් බවට සඳහන් කරමින් මෙම ඉපැරැණි ස්ථානය කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපතිවරයෙකු ඇතුළු නගර සභාවේ නිලධාරීන් පිරිසක් චෝදනාවට ලක්වූ අතර එම චෝදනාව හේතුවෙන් ඔවුන්ට සිර දඬුවම් ද හිමි විය. එම සිදුවීමට පෙර කිසිවෙකුගේ හෝ අවධානයට ලක් නොවී හෝටලයක් සහ මත්පැන් අලෙවි කරන ස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ස්ථානය කඩාබිඳ දැමීමෙන් පසුව එහි අයිතිය තමන් සතු බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. එම ස්ථානය ඉපැරැණි ස්ථානයක් බවත් එය කුරුණෑගල රාජධානි සමයට අයත් රාජසභා මණ්ඩපයක් බවත් කුරුණෑගල ජනතාව පවා දැනගත්තේ එය කඩාබිඳ දැමීමෙන් පසුව වීමද විශේෂත්වයකි.
ඒ අනුව අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව ඉපැරැණි බව කියන එම ගොඩනැඟිල්ල කඩාබිඳ දමා අලාභහානි කිරීමේ වරදට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත රුපියල් එක්කෝටියක් ඉක්මවූ මුදලක් වන්දියක් ලෙස ගෙවන ලෙසට හිටපු නගරාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් පිරිසට අධිකරණය විසින් නියම කරනු ලැබිණි. ඉන් පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට පත්වූ මෙම ගොඩනැඟිල්ල සංරක්ෂණය කරන බවට එවකට එම දෙපාර්තමේන්තුව භාරව සිටි වගකිව යුතු උසස් නිලධාරීන් ප්‍රකාශ කළද ඒවා හුදු ප්‍රකාශවලට පමණක් සීමා වී ඉමහත් ආන්දෝලනයකට ලක්වූ මේ ඉපැරැණි ගොඩනැඟිල්ල මේ වන විට බරපතළ විනාශයකට ලක්ව ඇත.
මෙම ගොඩනැඟිල්ලේ ආරක්ෂාව සඳහා හතරවටේ කටු කම්බි ගසා ආවරණය කර තිබුණද ඊට පිවිසීමට ඇති ගේට්ටුවට ඉබ්බෙකු යොදා අගුලක් දැමීමටවත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන නැති බවට අසල්වැසි ජනතාව චෝදනා කරති. එම ගේට්ටුව අගුලක් වෙනුවට ලණු කැබැල්ලකින් ගැටගසා තිබෙන ආකාරය දැකගත හැකි අතර මේ නිසාම බේබදු පුද්ගලයන්ට සහ සලෙළුන්ට එම ස්ථානය පාරාදීසයක් බවට පත්ව ඇත. කඩාබිඳ දමන ලද ගොඩනැඟිල්ලේ තිබූ ඉපැරැණි බව කිව හැකි විශාල ප්‍රමාණයේ දැව කඳන් රාශියක් අව්වට වැස්සට නිරාකරණය වෙමින් කිසිදු රැකවරණයක් නොමැතිව එළිමහනේ දිරා යමින් පවතී. කඩාබිඳ දැමූ ගොඩනැඟිල්ලේ ඉතිරිව පවතින පිවිසුම් දොරටුව සහිත කොටසද මේ වනවිට තව තවත් විනාශයට ලක් වෙමින් පවතින තත්ත්වය දැකගත හැකිය. එම ස්ථානය ආසන්නයේම දඹුල්ල ප්‍රධාන මාර්ගයේ දුර ගමන් සේවා බස්රථ නැවතුම්පොළ පිහිටා තිබෙන අතර එම ස්ථානයේ සිටින ජනතාව ඉවත දමන ප්ලාස්ටික් වතුර බෝතල් ඇතුළු, වීදුරු මත්පැන් බෝතල ඇතුළු නොදිරන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මෙම ස්ථානය තුළ මේ වනවිට එක්රැස්ව පවතී.
මුළු රටක්ම අවදි කළ මෙම ඉපැරැණි ස්ථානය කඩාබිඳ දැමීම හේතුවෙන් ඇතිවූ ප්‍රසිද්ධිය මූලික කරගෙන මෙම ස්ථානය සංචාරකයින්ට තොරතුරු දැන ගැනීමට මෙන්ම ජනතාවට ගිමන් නිවා ගැනීමට හැකි ස්ථානයක් බවට පත්කොට යම් ආදායමක් සේම කුරුණෑගල නගරයට ප්‍රසිද්ධියක් ලබාගත හැකි ස්ථානයක් බවට පත් කළ හැකිව තිබුණද කිසිදු බලධාරියෙකුගේ අවධානය ඒ සඳහා යොමු නොවීම කනගාටුවට කරුණක් බවද ජනතාව පෙන්වා දෙති. ඉපැරැණි ගොඩනැඟිල්ලක් කඩා බිඳ දැමීමේ වරදට වන්දියක් ලෙස ගෙවූ රුපියල් කෝටියක් ඉක්මවූ මුදලෙන් මෙම ස්ථානය නැවත යම් ප්‍රමාණයකට හෝ ගොඩනැංවීමට හැකියාව තිබියදීත් එසේ නොකිරීම ප්‍රශ්නයක් බවද ඒ මුදලට සිදු වූයේ කුමක්දැයි යන්න කුරුණෑගල ජනතාව දැනගත යුතු බවද ඔවුහු පවසති.
කුරුණෑගල අතිරේක – පුෂ්පකුමාර ජයරත්න

