ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයට STF ආරක්ෂාව ඇතුළු පොලිස් ආරක්ෂාව ලබාදෙනවා නම් අනෙකුත් දේශපාලන පක්ෂ කාර්යාලවලටද එවැනි ආරක්ෂාවක් ලබා දෙන ලෙසට තමා අද(10) දිනයේදී පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කිරීමට කටයුතු කරන බව නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර ප්රකාශ කරනවා.
ජනපතිවරයා සහ අගමැතිවරිය පැලවත්ත පක්ෂ මූලස්ථානයේ සිටින විට ආරක්ෂාව ලබා දුන්නාට ගැටළුවක් නොමැති බවත් නමුත් ඔවුන් දෙදෙනා නොමැති අවස්ථාවලදී ද දිගටම පැලවත්ත පක්ෂ මූලස්ථානයට ආරක්ෂාව ලබාදී තිබෙන්නේ කුමන පදනමකින්ද කියා තමා විමසන බවද සුගීශ්වර බණ්ඩාර සඳහන් කරනවා.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් කටයුතු කරන විට එවකට ඩාර්ලි පාරේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ මූලස්ථානයට පොලිස් ආරක්ෂාවක් මේ ආකාරයෙන් අඛණ්ඩව ලබා නොදුන් බවත් මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරය දරන විටත් එවැනි ආරක්ෂාවක් ඩාර්ලි පාරේ කාර්යාලයට අඛණ්ඩව ලබා නොදුන් බවත් ඔහු විසින් පෙන්වා දෙනු ලබනවා.
රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරන විට පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයට අඛණ්ඩ පොලිස් ආරක්ෂාවක් ලබා නොදුන් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ද ජනාධිපති වශයෙන් කටයුතු කරන විට බත්තරමුල්ලේ නෙළුම් මාවතේ පිහිටි පොහොට්ටුවේ ප්රධාන කාර්යාලයට ද මේ ආකාරයට අඛණ්ඩ පොලිස් ආරක්ෂාවක් ලබා නොදුන් බවත් සුගීශ්වර බණ්ඩාර පෙන්වා දෙනවා.
ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයට STF ආරක්ෂාව හා පොලිස් ආරක්ෂාව අඛණ්ඩවම ලබා දෙනවා නම් අනෙකුත් දේශපාලන පක්ෂවල ප්රධාන කාර්යාලවලටද ඒ ආකාරයට ආරක්ෂාව ලබා දෙන ලෙස තමා පොලිස්පතිවරයාගෙන් අද දින ලිඛිතව ඉල්ලීමක් කිරීමට කටයුතු කරන බවයි සුගීශ්වර බණ්ඩාර වැඩිදුරටත් ප්රකාශ කළේ.
#newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

