කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ – නාකොළගනේ පුරාණ රජමහා විහාරයට අයත් බව පවසමින් රජයට අයත් වනාන්තර පෞද්ගලික වායි තකා එළි පෙහෙළි කිරීම් සහ විදුලි වැටවල් ඉදිකිරීම මගින් ප්‍රදේශයේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06දා) තීරණය කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරන ලද නඩුවේ තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් සිල්වා, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යහ යෝගිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල විසින් පරිසරය සුරැකිම රජයේ මෙන්ම පුද්ගලයන්ගේ වගකීමක් ද බව අවධාරණය කරන ලදි.

නඩුවට පාදක වී තිබුණේ නාකොළගනේ රජමහා විහාරය ආශ්‍රිත අක්කර 1,500ක පමණ වනාන්තර ප්‍රදේශයක් එම විහාරාධිපති හිමියන් (10 වන වගඋත්තරකරු) විසින් නීති විරෝධී ලෙස එළිපෙහෙළි කර වාණිජ වගාවන් යන ගල් වැඩපළ සඳහා ලබා දී තිබීමයි.

විහාරාධිපති හිමියන් විසින් විහාරස්ථාන භූමියට අයත් නොවන රජයේ වන ඉඩම් මෙසේ නීතියට පටහැනි අයුරින් භාවිත කරමින් කටයුතු කර ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණයට දැනුම් දී තිබිණි. මෙම වන විනාශය හේතුවෙන් පාදුකඩවල වැවේ පෝෂක ප්‍රදේශ විනාශ වී ඇති බවත්, නීති විරෝධී විදුලි වැටවල් නිසා අලි- මිනිස් ගැටුම උග්‍ර වී ජන ජීවිතයට තර්ජනයක් වී ඇති බවත් අධිකරණය මෙම නඩුවේදී පිළිගෙන ඇති අතර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජයේ බලධාරීන්ට සහ වග උත්තරකරුවන්ට පහත සඳහන් නියෝග නිකුත් කරන ලදි.

සිද්ධියට තුඩු දුන් ප්‍රදේශය අභයභූමියක් ලෙස නම් කිරීම, විනාශ කරන ලද වනාන්තර නැවත වගා කිරීමට වන ජීවී දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතු වන අතර ඒ සඳහා වැය වන සම්පූර්ණ පිරිවැය විහාරාධිපති හිමියන් විසින් දැරීම්, නීති විරෝධී විකිණීම් සහ බදු දීමි අවලංගු කිරීම්, රාජ්‍ය ආයතනවල ප්‍රසිද්ධ සමාව අයැදීම ( වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය සහ වයඹ පළාත් පරිසර අධිකාරිය තම රාජකාරි පැහැර හැරීම් සම්බන්ධයෙන් භාෂා තුනෙන්ම ඉරිදා ජාතික පුවත්පතක ප්‍රසිද්ධ සමාව අයැදීමේ නිවේදනයක් පළ කළ යුතුය.) යන පරිසර විනාශය යන සතුන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ පවත්වා වැරදි කරුවන්ට එරෙහිව නඩු පැවරිය යුතුය යන්න එම නියෝග වේ.

මෙම තීන්දුව පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රය අවධාරණය කර සිටින්නේ මෙම ජයග්‍රහණය නාකොළගනේ ජනතාවට පමණක් නොව, අනාගත පරපුරට ද හිමි වූ ජයග්‍රහණයක් එන බවයි. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ නිල්මිල් වික්‍රමසිංහ මහත්මියගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා යන නීතිඥ යවන්ති පොන්නම්පෙරුම මෙනෙවිය ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.

Share.
Leave A Reply

Exit mobile version