පුරාවස්තු සෙවීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස කැනීම් කිරීමට අනුබල දීමේ චෝදනාව මත පොලිස් විශේෂ කාර්ය බලකායේ මහඔය කඳවුරේ අණදෙන නිලධාරියා සහ පොලිස් කොස්තාපල් රියැදුරෙකු කරදියනාරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.

කරදියනාරු පොලිස් වසමේ පෙරියපිල්ලුමලේ ප්‍රදේශයේ දී පෞද්ගලික ඉඩමක ඊයේ (11) අලුයම 05.00ට පමණ පිරිසක් පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණිම් සිදු කරන බවට පොලිසියට තොරතුරු ලැබී තිබු බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව කරදියනාරු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී, කැණිම්වල නිරතව සිටි විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙක් ඇතුලු පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම ජාවාරම සඳහා මහඔය විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරිවරයා සහ ඔහුගේ රියැදුරු සෘජුවම අනුබල දී ඇති බවයි.

ඒ අනුව ඊයේ රාත්‍රී 08.00 ට පමණ කරදියනාරු පොලිස් ස්ථානයට ඉදිරිපත් වූ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂකයා සහ පොලිස් කොස්තාපල් රියදුරුවරයෙක් යන අය ස්ථානාධිපතිවරයා විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ.

මෙම නීතිවිරෝධී කටයුත්ත සඳහා මහඔය කඳවුරේ රාජකාරි කටයුතු වෙනුවෙන් වෙන් කර තිබූ ජීප් රථයද යොදාගෙන ඇති අතර, පොලිසිය විසින් එම වාහනයද නඩු භාණ්ඩයක් ලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර නිලධාරීන් සහ අනෙකුත් පුද්ගලයන් අද (12) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කරදියනාරු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.

Share.
Leave A Reply

Exit mobile version