අන්තර් නිවර්තන අභිසාරි කලාපය සහ ඒ ආශ්‍රිතව දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් හෙට (06) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මෙම පද්ධතියේ වර්ධනය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තර අවධානය යොමු කරන බවත් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව මහජනතාව අවධානයෙන් යුතුව පසුවන ලෙසත්ය.
එමෙන්ම ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක හෙට දිනයේදී මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය.
විශේෂයෙන් සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට හෙට දිනයේදී මිලිමීර් 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.
තවද බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේ අහස වලාකුළින් බරව පවතින අතර උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

