මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී සිදු කළ බව කියන මූල්‍ය වංචා ගනුදෙනුවට ආණ්ඩුවට විපක්ෂය නගන චෝදනා ප්‍රතික්ෂේප කරමින්, තමන්ගේ මිම්මෙන් වර්තමාන රජය මැනීමට උත්සාහ නොකරන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා.
ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහ බැංකු වංචාව සිදු කරන සමයේ අනුගමනය කළ ක්‍රමවේදයන් හා නියෝග පිළිබඳව හිටපු පාලකයන් හොඳින් දන්නා බවයි.
එමෙන්ම පා. මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස චෝදනා නගන්නේ ඔවුන් සතු දූෂිත අත්දැකීම් පදනම් කරගෙන බවත් ඔහු සඳහන් කළා.
මුදල් අමාත්‍යාංශයේ ගිණුමකට අනවසරයෙන් ඇතුළු වී ඩොලර් මිලියන 2.5ක වංචාවක් සිදු වූ බවට පැතිර යන පුවත් සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, එවැනි දෙයක් සිදු වූයේ නම් ඒ පිළිබඳ තොරතුරු ලබා දීමට හිටපු පාලකයන්ට හැකියාව ඇති බව පැවසුවා.
“පැලවත්තෙ ගිණුමකට වගේ ආවා කියලා ඔවුන් දන්නවා නම්, ඒ තොරතුරු ලබාදීමේ හැකියාව ඔවුන්ට තියෙනවා. මෙතන කිසිදු වංචාවක් සිදුවෙලා නැහැ.” යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

