මාතලේ නගරයෙන් ඉවත් කරන කසළ මාතලේ දිස්ත්‍රික් මහ රෝහල අසල මැක්ඩොවල් බලකොටුවට බැහැර කිරීම නිසා නේවාසික රෝගීන්, රෝහල් කාර්ය මණ්ඩලය, පාසල් සිසුන් ඇතුළු අවට පදිංචිකරුවෝ දහස් ගණනක් පාරිසරික ගැටලු රැසකට මුහුණපා සිටිති.

මාතලේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රි (සර්ව ජනබලය) / හිටපු නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන් ඉන්ද්‍රරත්න මහතා පැවැසුවේ එවක නාගරික කොමසාරිස්වරයා ගත් අගතිගාමී තීරණයක් මෙම ගැටලුවට බලපා ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරියේ කොන්දේසිවලට යටත්ව වාරියපොළවත්ත කසළ අංගණයට කසළ බැහැර කිරීමේ හැකියාව තිබූ බවත්ය.

මාතලේ නගරයෙන් එකතු වන කසළ වාරියපොළවත්ත කසළ අංගණයට බැහැර කිරීම කාලයක් තිස්සේ සිදු කළ අතර එම ස්ථානයට කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් 2008දී පමණ අවට පදිංචිකරුවන්ගෙන් විරෝධය පළවීමත් සමඟ මාතලේ මහ නගර සභාවට කසළ බැහැර කිරීමේ ගැටලුවකට මුහුණදීමට සිදු වූ බවත් රත්තොට ප්‍රදේශීය සභා බල ප්‍රදේශයේ විහාරගමට කසළ බැහැර කිරීමට කටයුතු කළත් මහජන විරෝධය හමුවේ එම ස්ථානයට කසළ බැහැර කිරීමද වැළකී ඇති බවත් නාගරික මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

වාරියපොළවත්ත කසළ අංගණය අවට පදිංචිකරුවන්ගේ විරෝධය සමතයට පත්කර ගැනීම සඳහා එවක සිටි නාගරික කොමසාරිස්වරයා 2023.10.20 දින සිට වාරියපොලවත්ත කසළ අංගණයට කසළ බැහැර කිරීම අත්හිටුවා මහ රෝහලට යාබද මැක්ඩොවල් බලකොටුවට කසළ බැහැර කිරීම රජයේ විද්‍යා විද්‍යාලය, විජය ජාතික පාසල, මහාධිකරණය මෙන්ම මහ රෝහලටද දැඩි තර්ජනයක්ව ඇති බව අවට පදිංචිකරුවෝ පවසති.

මැසි උවදුර හේතුවෙන් මහ රෝහලේ නේවාසික රෝගීන් දැඩි අපහසුතාවකට මුහුණදී ඇති අතර රෝහලේ ඇතැම් ඒකක වසා දැමීමට පවා සිදුව ඇති බව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට වාර්තා කර ඇත.

මාතලේ නගරයේ කසළ ගැටලුවට විසඳුම් සෙවීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශයන් පවා නොසලකා කටයුතු කර මාතලේ මහ රෝහල ආසන්නයේ කසළ බැහැර කිරීමෙන් සිදුව ඇති පාරිසරික දූෂණය වළක්වා ගැනීමේ කිසිදු ක්‍රියාමාර්ගයක් මෙතෙක් නොගැනීම ගැන පරිසර සංවිධාන මෙන්ම විවිධ වෘත්තිකයන්ගේ බලවත් අප්‍රසාදය පළවෙමින් තිබේ.

මාතලේ මහ නගර සභාවේ නගරාධිපති අජිත් කොට්ටහච්චි මහතාගෙන් කළ විමසීමේදී පැවැසුවේ මෙම ගැටලුව සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් ලබාදීමට කටයුතු කරමින් සිටින බවය.

Share.
Leave A Reply

Exit mobile version