කැලණිය දුම්රිය මාර්ගයේ රේල්පීලිවල යකඩ කොටස් ගලවා සොරකම් කර රුපියල් කෝටි ගණනක අනර්ථයක් කර ධාවනය වූ දුම්රිය පීලිපැනීට සලස්වා පුද්ගලයන් දස දෙනකුට මරණීය තුවාල සිදුකිරීමට තැත්කළැයි කියන සිද්ධියට අදාලව පෑලියගොඩ පොලිසිය අත්අඩංගුවට ගත් දෙදෙනෙකු ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය අද (17) නියෝග කළා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ජම්බුවත්ත, වනවාසල, කැලණිය පදිංචි රාජපක්ෂ පතිරණලාගේ ගිහාන් කණිෂ්ක (25) සහ වෙරලපත්තන, දුමාවත්ත, මඩොල්සිම පදිංචි සුබ්‍රමනියම් රමේෂ් කුමාර (31) නමැත්තන්.
මෙහි පළමු සැකකරු, රජයේ දේපල සොරකම් කිරීම, සොරබඩු බැහැර කිරීම, රජයේ දේපලවලට කෝටි ගණනක අලාභයක් සිදුකිරීම, රේල් පීලිවල යකඩ කොටස් ගලවා දුම්රිය පිළී පැනීමට සලස්වා පුද්ගලයන් දස දෙනෙකු මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීම ආදී වැරදි සිදුකර ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.
මෙහි දෙවැනි සැකකරු, මෙම සොරාගත් භාණ්ඩ මිලට ගැනීමේ වරද සිදුකර ඇතැයි ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ වනවාසල සිට කොළඹ දෙසට මීටර් 100ක් පමණ වන්නට ඉකුත් 16 වැනිදා උදෑසන 05.25ට පමණ මෙම දුම්රිය අනතුර සිදුව ඇති බවට දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් පැමිණිල්ලක් කර තිබූ බව පෑලියගොඩ පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
මෙලෙස පීළි පැන අනතුරට ලක්ව ඇත්තේ අංක 507 පොල්ගහවෙල සිට දකුණු කලුතර බලා ධාවනය වන දුම්රිය බවත්, එහි ටීසී 16555 දරන දුම්රිය මැදිරිය පෙරළී තිබුණු අතර දුම්රිය මැදිරි 03ක් වෙනත් මාර්ගයිකන් පැත්තට ගොස් තිබුණු බවත් පැමිණිල්ලේ සදහන්ව ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණා.
මෙම අනතුරින් දස දෙනකු තුවාල ලබා ඇති අතර ඉන් පස් දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
මෙම අනතුරින් අදාල දුම්රිය මාර්ගයට හා දුම්රිය මැදිරිවලට දැඩි හානි සිදුව ඇති බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබුවා.

