හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරටදී ප්‍රතිකාර ලබා ගැනීමට සූදානමින් සිටියද මීට පෙර ප්‍රතිකාර කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් රහස් පොලිසියට කැඳවීම නිසා මෙරට ප්‍රතිකාර ලබා නොගෙන විදෙස්ගතව ප්‍රතිකාර ලැබීමට වික්‍රමසිංහ මහතා තීරණය කළ බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් ප්‍රකාශ කරනවා.

හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී අද(21) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

රනිල් වික්‍රමසිංහ මහතට මෙරටදී ප්‍රතිකාර කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් පසුගිය දවසක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බවත් එම වෛද්‍යවරුන් චූදිතයින් බවට පත් කළ බවද හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජී. එල්. පීරිස් මෙසේද පැවසුවා.
මේ රටේ ඉහළම පෙළේ විශේෂඥ වෛද්‍යවරුන් ඉන්නවා. ඉහළ පහසුකම්වලින් සමන්විත රෝහල්ද තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රතිකාර කරපු විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම නිසා ඔවුන් විශාල පීඩනයකට ලක්වුණා.

එවැනි තත්ත්වයක් තුළ වික්‍රමසිංහ මහතා තවදුරටත් මේ රටේ ප්‍රතිකාර ලබා ගත්තා නම් ඒක වෛද්‍යවරුන්ට කරන අසාධාරණයක්. ඒක වෛද්‍යවරුන්ට වෙන පීඩනයක්. ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් මේ ආකාරයට රහස් පොලිසියට කැඳවීම විශාල ගැටළුවක්. මෙවැනි තත්ත්වයක් යටතේ ඉදිරියේදී මෙරට කැපී පෙනෙන දේශපාලන චරිතවලට මෙරටදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ගැටළුවක් ඇතිවෙන්න පුළුවන්. ඒක අසතුටුදායක තත්ත්වයක්.

මේ අතර රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා එංගලන්තයට ගිය සංචාරය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායමක් මහා බ්‍රිතාන්‍යයට ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද හිටපු අමාත්‍යවරයා අදහස් දැක්වූවා.

රනිල් වික්‍රමසිංහ මහතා, මහා බ්‍රිතාන්‍යයේ කරන ලද නිල සංචාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් කණ්ඩායමක් මහා බ්‍රිතාන්‍යයට ගොස් තියෙනවා. පොලිස් කණ්ඩායමට ඒ සඳහා ගිය සම්පූර්ණ වියදම පිළිබඳව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අප ඉල්ලා තිබෙනවා. කෙතරම් මුදලක් එම පොලිස් කණ්ඩායම සඳහා වෙන් වුණාද කියලා දැන ගැනීමට තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ රටේ ජනතාවට අයිතියක් තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version