ව්‍යාජ ඇමෙරිකානු ඩොලර් සන්තකයේ තබාගෙන සිටි විදේශිකයන් දෙදෙනෙකු හබරාදූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (07) හබරාදූව පොලිස් වසමේ, පිලල්ල ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන්ගෙන සිටි මෙම විදේශිකයන් දෙදෙනා, ව්‍යාපාරික ස්ථානයකට ගනුදෙනුවක් සඳහා ව්‍යාජ ඇමෙරිකානු ඩොලර් 400ක මුදලක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ පිළිබඳ ලද පැමිණිල්ලකට අනුව සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

එහිදී සිදු කළ වැඩිදුර පරීක්ෂාවේදී, සංචාරක වීසා මත මෙරට රැඳී සිටි සැකකරුවන් සන්තකයේ තිබී තවත් ව්‍යාජ ඇමෙරිකානු ඩොලර් 5,200 ක මුදලක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26 සහ 27 යන වයස්වල පසුවන තජිකිස්තාන ජාතිකයන් දෙදෙනෙකු බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Share.
Leave A Reply

Exit mobile version