කොළඹ – ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කළ ඊ-පාස්පෝට් ටෙන්ඩර් ක්‍රියාවලිය වංචාකාරී බවට චෝදනා කරමින්, පෝලන්ත රජය යුරෝපා සංගමයට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටී. මෙම තීරණයට හේතු වී ඇත්තේ Polish Security Printing Works (PWPW) සමාගම ඇතුළුව ජාත්‍යන්තර සමාගම් හයක්ට කිසිදු විශ්වාසනීය පැහැදිලි කිරීමක් නොමැතිව ටෙන්ඩරයෙන් ඉවත් කර තිබීමයි.

Daily Mirror පුවත්පතට අනුව, ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහා ඊ-පාස්පෝට් නිකුත් කිරීම සම්බන්ධ ටෙන්ඩර් කැඳවීම 2025 අප්‍රේල් 27 දින ප්‍රකාශයට පත් කර තිබූ අතර, එයට ජාත්‍යන්තර සමාගම් 8ක් අයදුම් කර තිබුණි.

මෙම ටෙන්ඩරයට අයදුම් කළ සමාගම් අතරට ජර්මන් රජය සතු Veridos GmbH සමාගම, එක්සත් අරාබි එමිරේට්ස් පදනම් කර ගෙන Tahaluf Al Emarat Technical Solutions සමාගම, ඉන්දියාවේ Madras Security Printers Pvt. Ltd සමාගම., එක්සත් අරාබි එමිරේට්ස් පදනම් කර ගෙන United Printing and Publishing සමාගම, ෆින්ලන්ත කාර්යාලය හරහා ඉදිරිපත් වූ (ප්‍රංශ සමාගමක් වන) Thales Finland සමාගම, ප්‍රංශයේ IN Group සමාගම, පෝලන්ත රජය සතු Polish Security Printing Works (PWPW) සමාගම සහ මැලේසියානු IRIS Corporation Berhad සමාගම, ඇතුළත් වේ.

සියලු සමාගම් නියමිත කාලය තුළ අයදුම්පත් ඉදිරිපත් කළ ද, අයදුම් අවසන් වූ පසු රජය Polish Security Printing Works (PWPW) සමාගම වෙත දන්වා තිබුණේ ඔවුන් අඩු ලකුණු ලබාගෙන ඇති අතර ටෙන්ඩරය Thales Finland සමාගමට හිමිවී ඇති බවයි. එමෙන්ම, කැමති නම් ඇපිල් කළ හැකි බවද ඔවුන්ට දන්වා ඇත.

තවත් සමාගම් හයද විවිධ හේතු සඳහන් කරමින් ටෙන්ඩරය නොලැබුණු බවට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

Polish Security Printing Works සමාගමේ නියෝජිතයන් පවසා ඇත්තේ, ඔවුන් සහ තවත් සමාගම් තුනක් ඇපිල් කිරීමක් සිදු කළ බවයි. එහිදී ඇපිල් මණ්ඩලය විසින් Polish Security Printing Works (PWPW) සමාගම ඉදිරිපත් කළ ටෙක්නිකල් යෝජනාව නැවත ඇගයීමට ලක් කර, ඔවුන් අවශ්‍ය සියලු ලේඛන ඉදිරිපත් කර ඇති අතර අවම සුදුසුකම් ලකුණු ඉක්මවා ඇති බවට සනාථ කර ඇති බැවින්, මූල්‍ය යෝජනාව විවෘත කිරීමටද සලකා බැලිය යුතු බව රජයට දන්වා ඇත.

එහෙත්, එම නැවත ඇගයීමෙන් පසුවත් Polish Security Printing Works (PWPW) සමාගමේ මිල ගණන් යෝජනාව විවෘත කර නොතිබූ අතර, Thales Finland සමාගමේ යෝජනාව මුල් දිනයේම විවෘත කර තිබීම විවාදයට ලක්ව ඇත. එකම ඇගයීම් කමිටුවක් විසින් සාධාරණ සහ යුක්තිසහගත නැවත ඇගයීමක් සිදුකර ඇතිද යන්න පිළිබඳ සැක පවතින බවද සඳහන් වේ.

මෙම තත්ත්වය හේතුවෙන්, වංචාකාරී ක්‍රියාවක් සිදුව ඇති බවට සැක කරන Polish Security Printing Works (PWPW) සමාගමේ නියෝජිතයන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවී මෙම ගැටළුව ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

2026 මාර්තු 13 දින යවන ලද ලිපියකින් Polish Security Printing Works (PWPW) සමාගම අමාත්‍ය හේරත්ට දැනුම් දී තිබුණේ, ඔවුන් පෝලන්ත රජයේ සම්පූර්ණ අයිතිය යටතේ ක්‍රියාත්මක වන ලෝකයේ ප්‍රමුඛ ආරක්ෂිත මුද්‍රණ සමාගමක් වන අතර, ජාතික මට්ටමේ ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කර ඇති දීර්ඝ පළපුරුද්දක් ඇති බවයි.

එමෙන්ම, 2026 මාර්තු 23 දින Polish Security Printing Works (PWPW) සමාගමේ නියෝජිත පිරිසක් සහ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා පිහිටි පෝලන්ත දූත මණ්ඩල නියෝජිතයෙකු සමඟ ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබූ බවද ඔවුන් සඳහන් කර ඇත.

මෙම හමුවේ අරමුණ වන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කළ ටෙන්ඩර් ක්‍රියාවලිය පිළිබඳ ගැඹුරු සැකයන් ඉදිරිපත් කිරීම බවයි.

“මෙම ව්‍යාපෘතියේ ජාතික වැදගත්කම සැලකිල්ලට ගෙන, පෝලන්ත රජයට සම්පූර්ණයෙන් අයත් Polish Security Printing Works (PWPW) සමාගම, විශේෂයෙන්ම තමන් ඉදිරිපත් කළ ටෙක්නිකල් යෝජනාව නැවත ඇගයීමට ලක් කිරීම සඳහා දැඩි ලෙස ඉල්ලා සිටී. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන ස්වාධීන තාක්ෂණික ඇගයීම් කමිටුවක් (TEC) මගින් මෙම ඇගයීම සිදු කළ යුතු බව අපි යෝජනා කරමු,” යනුවෙන් Polish Security Printing Works (PWPW) සමාගම ලිපියේ සඳහන් කර ඇත.

මෙම ඉල්ලීමට සහාය දක්වමින් නවදිල්ලිහි පෝලන්ත දූත මණ්ඩලයද වෙනම ලිපියක් මගින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය සමඟ හමුවක් සංවිධානය කිරීමට ඉල්ලීම කර ඇත.

එහෙත්, Polish Security Printing Works (PWPW) නියෝජිතයන් පවසන්නේ, මෙම හමුව සඳහා කළ ඉල්ලීමට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් තවමත් ප්‍රතිචාරයක් නොලැබී ඇති බවයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වෙත යවන ලද වෙනත් ලිපියකින්ද, තම ටෙන්ඩර් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ලබාදුන් හේතු පිළිබඳව ඔවුන් එකඟ නොවන බවත්, සියලු සුදුසුකම් සපුරාලමින් සම්පූර්ණ ලේඛන සමඟ තරඟකාරී යෝජනාවක් ඉදිරිපත් කළ බවත් Polish Security Printing Works (PWPW) සමාගම සඳහන් කර ඇත.

ඒ අනුව, Thales DIS Finland සමාගම තම ශ්‍රී ලංකා නියෝජිත Just In Time Technologies Pvt Ltd සමඟ එක්ව, 2024 සැප්තැම්බර් මාසයේදී පසුගිය රජය යටතේ හිටපු අමාත්‍ය ටිරාන් අලස් විසින් N-සිරීස් යන්ත්‍ර පාස්පෝට් 750,000ක් සැපයීමට තෝරාගත් සමාගමද වේ. එම ගනුදෙනුවද මිලදී ගැනීමේ නීති උල්ලංඝනය කළ බවට චෝදනා මත අධිකරණයේ අභියෝගයට ලක්ව තිබුණි.

Share.
Leave A Reply

Exit mobile version