සූදු ක්‍රීඩාවෙන් පරාජය වූ තම හිතවතෙකුට මුදල් සොයාදීම සඳහා මෝටර් රථ කුලියට ගෙන මී ගව පැටවුන් සොරකම් කර, එළු මස් ලෙස අලෙවි කිරීමේ ජාවාරමක් මෙහෙය වූ පාසල් සිසුවෙකු අම්බලන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය දිනවල ගව සොරකම් පිළිබඳ අම්බලන්ගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කිහිපයක් ලැබී ඇති අතර, ඒ පිළිබඳ සිදුකළ විමර්ශනයේදී සැකකාර පාසල් ශිෂ්‍යයා තල්ගස්ගොඩ, ගොඩහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

එම ශිෂ්‍යයා අම්බලංගොඩ ප්‍රධානපෙළේ පාසලක ඉගෙනුම ලබන අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අම්බලන්ගොඩ හා වතුගෙදර ප්‍රදේශවල පදිංචිකරුවන් වන‍ ඔවුන්ද පාසල් සිසුන් බව පොලීසිය පවසයි.

මෙහිදී පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ, සැකකාර පාසල් සිසුන් තිලකපුර ප්‍රදේශයේ මාස 3ක් සහ මාස 8ක් වයසැති මී ගව පැටවුන් දෙදෙනෙකු මෝටර් රථ දෙකක දමාගෙන ගොස්, කරන්දෙනිය පනාපිටිය ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවිකර ඇති බවය.

ඒ අනුව ඔහුද මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම ගව පැටවුන් දෙදෙනා කැලෑවක ගැටගසා තිබියදී සොයාගෙන ඇත. 

මේ වන විට ගවයන් ප්‍රවාහනය කිරීමට යොදාගත් මෝටර් රථ දෙකද අත්අඩංගුවට ගෙන තිබේ.

එම මෝටර් රථ බටපොල ප්‍රදේශයේ කුලියට මෝටර් රථ ලබාදෙන ස්ථානයකින් ලබාගෙන ඇති බව සඳහන්ය.

සැකකරුවන් කාලයක් තිස්සේ එළුවන්ද මෙලෙස සොරාගෙන ගොස් ඇති බව ප්‍රශ්න කිරීමේදී පොලීසිය අනාවරණය කරගෙන ඇත.

එළු මස් මිල අධික නිසා ගව පැටවුන් මරා, එළු මස් ලෙස අලෙවි කිරීමේ ජාවාරම මෙලෙස සිදුකර ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුරටත් පැවසීය.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

Share.
Leave A Reply

Exit mobile version