රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන දැනට ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව නඩුව කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ අද (29 වැනිදා) කැඳවීමට නියමිතය.
එංගලන්තයේ බුල් හැමිල්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා පෞද්ගලික විදෙස් සංචාරයකට ගොස් රුපියල් ලක්ෂ 169කට අධික මුදලක් රජයට පාඩු කරන ලදැයි පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ මෙහෙයවීම මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද විමර්ශනයේ ප්‍රගතිය, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද දැනුම් දීමට නියමිතය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අපරාධ පරීක්ෂණ​ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දින රාත්‍රියේදී අධිකරණයේ සිදුවූ යම් යම් සිද්ධීන් වීඩියෝ ගත කර සමාජ මාධ්‍යයට යොමු කළ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස එවකට කොටුව මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ නිලුපුලී ලංකාපුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබිණි.

ඊට අදාළ වාර්තාවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතය.

Share.
Leave A Reply

Exit mobile version