හෝමාගම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු උත්සවයකින් පසුව පැවති සාදයක් අතරතුරදී මියගිය සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණය විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.

පහරදීමෙන් සිදු වූ මාරාන්තික තුවාල සිරුරේ දක්නට නොලැබෙන බවට එම වාර්තාවේ සඳහන් බව පොලිසිය පැවසුවා.

ඒ අනුව සිරුරු කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රජ පරීක්ෂකවරයා වෙත යොමු කෙරුණා.

විශ්වවිද්‍යාලයේ පැවති අලුත් අවුරුදු උත්සවයකින් අනතුරුව සිසුන් සහ සිසුවියන් කිහිපදෙනෙක් එම ප්‍රදේශයේම පිහිටි හෝටලයක් තුළදී සාදයක් පවත්වා තිබුණේ පෙරේදා රාත්‍රියේදීයි.

එම සාදය අතරවාරයේ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබු අතර, ගැටුමට මැදි වූ සිසුවෙක් එහිදී මියගියා.

ගැටුම අතරවාරයේ සිදුවූ පහරදීමක් මරණයට හේතුවී තිබූ බවට මූලික විමර්ශණවලදී අනාවරණ වී තිබූ නමුත්, වැඩිදුරටත් සිදුකරන ලද විමර්ශනවලදී අදාළ මරණය පහරදීමක් හේතුවෙන් සිදුව ඇති බවට නිශ්චිතවම තහවුරු වී නොමැති බව පොලිසිය පැවසුවා.

පොලිසිය සඳහන් කළේ සිද්ධිය වූ ස්ථානයේ cctv කැමරා පරීක්ෂා කිරීමේදී සහ අත්අඩංගුවට ගත් සිසුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඊට අදාළව තවත් කරුණු රැසක් අනාවරණ වූ බවයි.

ඒ අනුව, සාදය අතරවාරයේ එම ස්ථානයේ සිටි සිසුවියන් කිහිප දෙනෙක් වැසිකිළි යෑම සඳහා පිටව ගොස් තිබූ අතර, තවත් සිසුවෙක් ද ඔවුන් පසු පස ගොස් තිබෙනවා.

ඔවුන් පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් එම ස්ථානයට තවත් සිසුන් කිහිප දෙනෙක් ගොස් තිබූ අතර, ගැටුම හටගෙන ඇත්තේ එම අවස්ථාවේදීයි.

පොලිසිය පැවසුවේ මරණයට පත් වූ සිසුවා එම ස්ථානයේ පිහිණුම් තටාකය අසල ඇද වැටෙන අයුරු cctv දර්ශනවල දක්නට ලැබෙන බවයි.

මෙලෙස මිය ගියේ හිරිපිටිය නිකදළුපොත පදිංචිකරුවෙක් වන යසිත් චතුක නමැති අවුරුදු 19ක් වයසැති සිසුවෙක් වන අතර, ඔහුගේ සිරුර මේ වන විට නිවසේ තැන්පත් කර තිබෙනවා.

අදාළ සිසුවා එම පෞද්ගලික විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශයේ ඉගෙනුම ලබමින් සිට තිබුණා.

මේ අතර, ගැටුමෙන් තුවාල ලැබු තවත් සිසුවෙක් මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

Share.
Leave A Reply

Exit mobile version